Wednesday, September 14, 2011

කියැවුමේ ඉතිහාසය

      මිනිහෙක් පොත් කියවීම නිසා සම්පූර්ණ වෙනවා කියන එක වෙන අයට අනුව ඇත්තක් උනත් මා සම්බන්දයෙන් ඇත්තක් වෙලා නෑ තවම, මොකද පිටස්තරයින්ට අනුව මමතවම පොත් කියැවීමේ මුල් මට්ටමේ ඉන්න කෙනෙක් නිසා.., අවට අත්දැකීම් එක්කාසු කරලා කවි කතා වැනි දේ ලිව්වත් මම තවම අදහන දෙයක් තමා මම තවම හැදෑරීමේ මූලික මට්ටමේ ඉන්න කෙනෙකු බව.


   ඉස්සර අපේ ගෙදේර වැඩ කරන්න මිනිස්සු දෙන්නෙක් හිටියා ඉන් එක්කෙනෙක් ගේ නම සුනිල්. මිනිහා පොඩි පොඩි මැජික් කෑලි දන්නවා..,ඩේවිග් බ්ලේක්,හූඩිනි, වගේ අය ගැන අහන්න ඉස්සෙල්ලා මිනිහා තමා මට ඇස්බැන්දුම් කරලා පෙන්නලා මාව පුදුම කෙරෙව්වේ.., ඒ අතරේ මගේ අතේ තිබ්බ කාසිය අතුරුදහන් කරල මගේ කන ගාවින් ගන්න විදිය, ටොපියක් ඇඟිලි අස්සේන් අතුරු දන් කරලා එය ඔහුගේ සාක්කුවේ වග පෙන්නීම වගේ දේවල් කරලා තමා ඒ දවස් වල මට මගේ ලෝකේ මැජික් උනේ. ඔය ඉන්න අතරේදී මිනිහා දවසක් මට කුඩා නැවීම් කිහිපයකින් පසුව කඩදාසියෙන් සතුන් උපද්දන විදියක් කරලා පෙන්නුවා.., මම ඒ ගැන වැඩි දුර විස්තර හාර හාරා අහන කොට තමා කිව්වේ එවා ඉගෙන ගත්තේ මිනිහා පොතකින් බවත්, ඒ වාට කියන නම ඉස්සර මතක තිබුනත් මේ වෙනකොට මතක නැති බවත් කියලා..,

     සුනිල් අපේ ගෙදරින් ගිහිල්ලා අවුරුදු ගාන කට පස්සේ තමා මම දැන ගත්තේ ඒ නැවීම් කිහිපයකින් සත්තු උපද්දන්න හැකි ක්‍රමේට කියන්නේ "ඔරිගාමි" කියලා. ඒත් මේ සිදුවීම තමා මම පොත් කියවන්න කුඩා කාලයේදී ආශක්ත වුනු ආසන්නතම සිදුවීම. වයස අවුරුදු 10 තරම් තේරෙන වයසට ආවම අපේ ගෙදරට ගෙනපු චිත්‍ර කතා පත්තර කියවන්න මම පුරුදු වුනා.., සිත්තර, සත්සිරි, දසුන, මධුර වගේ පත්තර ඒ දවස් වල මේ හිත් ගත්තා. මේ පත්තර වල චරිත මවපු යුනිකෝන්, ටෝගා, ස්පාටකස්, වගේ වීර කතාත් ඉතින් ඊට පස්සේ වගේ ආදර කතාත් අවුරුදු 10ක් තරම් පොඩි කාලේදී මම කියවන්න පුරුදු උනා.., ඒ වගේම ඒ දවස් වල මම චිත්‍ර කතා පත්තර වල තියෙන්නා වාගේ චිත්‍ර අනුකරණය කරමින් විවිධ චිත්‍ර අඳින්න පුරුදු උනත් ඒවා හරිගියේ නෑ. ඒත් ඒ මඟින් එක හොඳක් සිද්ධ උනා. ඒ තමා මම චිත්‍ර කියන විශය සම්බන්ධයෙන් කෙසේ වෙතත් කියවීම කියන විශයේ හොඳ
    ඇල්මක් තියෙන කෙනෙක් බවට පත්වීම. අපේ බාප්පලයේ ගෙදර හිටියා වැඩකරන්න කෙනෙක්.එයාගේ නම මැගී. ඉස්සර අපි ගේ හදන්න ඉස්සර මහගෙදර ඉන්න කාලේ මාව බලාගෙන තියෙන්නේ මැගී. මම මොන්ටිසෝරි ඇරිලා ආපු ගමන් ගමන් බත් එක අරගෙන ඒක කවන ගමන් මැගී අපිට කතාවක් කියලා දෙන්න පුරුදුවෙලා හිටියා.., ඒ කතාවේ ඇස් වලින් ගින්දර පිඹින අස්සයෝ, මායාකාර ආච්චිලා, පියාඹන කොසු වල නැගලා කෑම කන්නේ නැති ළමයි අල්ලගෙන මග්ගොන ගිහින් දාන යක්කු.., මේ වගේ අය ගැන නොයෙක් කතා කියල මට කෑම කවනවා.., ඒ කතාවේ බාගයක් අහගෙන යනකොට මගේ බත් පිඟාණත් ඉවර වෙන නිසා; හොඳම තැනින් කතාව හෙට කෑම වෙලාව වෙනකල් නවත්තනවා.., ඒ කතාව කවදාවත් ඉවර කරන්න මැගීට බැරි උනා වගේම මටත් කවදාවත් ඒ කතාව නොඅහා ඉන්න හේතුවක් ඒ දවස් වල තිබුණේ නෑ.  පොඩි කාලේ ඉඳන් ම මාව කතන්දර අහන්න වගේම ඒ කතා පිපාසාව නිසා අකුරු එකතු කරල කතන්දර කියවන්නත් ලොකු හේතුවක් උනේ මාව පොඩි කාලේ බලාගත්තු මැගී.
     චිත්‍ර කතා වල ආභාසය නිසා ම මම, 5 වසරට සමත් උනාම ඒ දවස් වල අපිට හෙන පිස්සුවක් තිබ්බා සුපර් හීරෝස් ස්ටිකර් එකතු කරන්න, ඒ රූප ස්ටිකර් 10 තියෙන පැකට් එකක් රුපියල් 5යි.., ඒවා අදාල නමට යටින් සුපර් හීරෝස් පොතේ අලවලා යැව්වම තෑගි හම්බුණා. දවසක් මම සරසවියට අම්මා එක්කලා ගිය වෙලාවක පැත්තක අඳුරු මුල්ලක දාල තිබ්බ කාටූන් කතා පොත් තුකන් ගත්තා ඒ දවස් වල ආඒ ඉන්දියක් කොපි, ඒක පොතක් රුපියක් 30යි. අම්මට අඬලා අඬලා පොත් තුනක් අරගෙන ගෙදර ගෙනල්ලා කියෙව්වා. ඒ දවස් වල මම ඉංග්‍රීසි වලට හරි දුර්වලයි, ඒ නිසා රූප කියවලයි තේරුම් ගත්තේ, පස්සේ මම 6 වසරට විතර සමත් උනාට පස්සේ ඉස්කෝලේ ඇරිලා එන ගමන් ටින්ටින්, ඇස්ට්‍රික්ස් වගේ කාටූන් පොත් අරන් කියෙව්වා, ඒ පොත් ගත්තේ බොරැල්ලේ මාධව පොත් හලෙන්, ඒ වගේම අසෝකාරාමේ ගාව තිබ්බ මිස්සක පොත් හලේත් ඒ පොත් අඩු මිලට තිබුණා.., දැන්නම් මිස්සක පොත්හල නෑ, අසෝකාරාමේ ගාව ඒක වහලා දාලා.
   මම පළවෙනියටම කියෙව්ව පොත තමා තුන්යහලු වික්‍රමය., ඒ දවස් වල ඒ වගේ පොත් රාසියක් ආපු නිසා මට කියවන්න තියෙන පොත් වලින් අඩුවක් උනේ නෑ. බස්තියන්ගේ සොහොන, පාලු කන්දේ අභිරහස, වගේම කුලසේන ෆොන්සේකාගේ රන්සිරිගේ සංග්‍රාමයත් මම හොයාගෙන කියෙව්වා.., කතාව හරියටම තේරුනේ නැතත්.., ඒ දවස් වල රූපවාහිනියේ අඟහරුවාදා රෑ 8.30ට රන්සිරිගේ සංග්‍රාමය ටෙලියක් විදියට විකාශය උනා, මට තාම මතකයි ඒක රන්සිරි විදියට රඟපෑවේ ජගත් බෙනරගම.

   දවසක් ඉස්කෝලේට උදේ යනකොට අපේ ඉස්කෝලේ එහා මරදාන පැත්තේ කහ ඉර ඉස්සරහ තියෙන ගොඩගේ පොත්හලෙන් ඇඩ් එකක් දාලා තිබ්බා පොත් සේල් එකක් තියෙනවා කියලා එදාට කලින්දා ගුරු දෙගුරු පොතේ පහසුකම් ගාස්තුගෙවන්න කියලා කියල තිබ්බ නිසා රුපියල් එක්දාස් ගාණක් මගේ අතේ ඒ වෙලාවේ තිබ්බා. එදා මම පහසුකම් ගාස්තු ගෙවන්නේ නැතුව ගියා ගොඩගේ එකට පොත් බලන්න, ඒ තමා මම තනියම පොත් කඩේකට ගිය පළවෙනි වතාව. කේජී කරුණාතිලක පරිවර්ථනය කල වානරයන්ගේ ටාර්සන්, මොන්තක්‍රිස්ටෝ සිටුවරයා, බිම්ගෙයි සිරකරුවා වගේ පරිවර්ථිත පොත් තිබබා. කොහොම හරි මොන්තක්‍රිස්ටෝ සිටුවරයා වෙළුම් 6 ක් නිසා නොගත්තත්, වානරයගේ ටාර්සන්, ටාර්සන් සහ වනසිවුපාවෝ, ටාර්සන් ආපසු එයි කියන පොත් තුන මම ගත්තා. කේජී මහත්තයාගේ බරසාර වචන හරඹ නිසා මුල් පරිච්ඡේද එක දෙක නොතේරුණත් අමාරුවෙන් කියවාගෙන යනකොට මටත් නොදැනිම මගේ වාග් ශෛලීය ඊට අනුගත වෙලා සරළ සිංහල පොතක්  කියවනවා වගේ දැනෙන්නට වුණා. සාමාන්‍යපෙළින් උසස් පෙළට සමත් වෙලා, රොටරියේ ක්ලාස් වලට යන්න පටන් ගත්තාම ගෙදරින් කන්න දෙන සල්ලි එකතු කරලා, විදර්ශන එකෙන් පොත් ගන්න අපි වෙනමම සෙට් එකක් හිටියා, ඒ අය අද වෙනකොට කොහෙද දන්නේ නෑ. ඉස්සර නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ ඒලියන් බූට්ස් සපත්තු කඩේ අයිනෙන් යන්න ලේන් එකේ තිබ්බ ගෙදර තමා විදර්ශන පොත් ගෙදර දාලා තිබුණේ. අද විශාලව පවතින විදර්ශන පාඨක ජාලයේ ආරම්භයත් සිදුවුනේ එතන. එදා ඉඳන් අද වෙනකල්ම ගත්තු මගේ පොත් එකතුවේ සෑහෙන්න පොත් ප්‍රමාණයක් එකතුවෙලා තියෙනවා.

    ගුණසේන පොත් මාසය, කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය වගේ කාලයනුත් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, විදර්ශන ප්‍රකාශන, දයාවංශ ජයකොඩ් සහ සමාගම, සමයවර්ධන, කියවන නුවණ, සම්මාන, සරසවි, විජිතයාපා, ගාමිණීහෝල්, ගොඩගේ වගේ පොත් හල් වලට පින්සිදුවෙන්නත් මම කියවීම අතර කවදාවත් කඩන්න බැරි බැඳීමක් ගොඩනඟාගෙන. ඊට අමතරව හෂිත අයියා, සචී අක්කා, ලසිත, රචින්ත, මරේ, හරේෂ්, මලී, චමිල, පැතුම් වගේ නිතර හමුවෙන අය එක්කලා මේ වෙනකොට විශාල පොත් ප්‍රමාණයක් හුවමාරු කරගෙන ඒ ගැන සංවාද කලත් මට හිතෙන්නේ අපි කියවාපු දේ එක්ක අපේ දැනුමේ ප්‍රමාණය ලෝක සාහිත්‍යයේ ප්‍රමාණයෙන් දුහුවිල්ලක තරම් වත් නෑ කියලයි.

9 කියවල මෙහෙම ලිව්ව ලු.:

malee_msg said...

නියමයි මචං.. කාලෙකට පස්සේ නෙට් එකේ කියවන්න ගත්තා.. මුලින්ම මේ පොස්ට් එක කියෙව්වේ. හිත ආ‍සාවෙන් පිරුනා. ඒ එක්කම මගේ කියවීමේ ඉතිහාසය හොයන්න ගියාට ඇත්තටම මට මතක නෑ. ඇඩ් එකක් ‍නෙවෙයි ඒත් මං කියවන්න ගත්ත කාලේ මට මතක නෑ. ඒ කියන්නේ මම පොඩිම කාලේ ඉදන් මම පොත් බැළුවා. අම්මා කියන හැටියට නම් එයා ඉස්සර මට කියලා පොත් කියව ගත්තලු එයාගේ ඇස් පෙන්නේ නෑ කියලා බොරු කියලා. අපේ අම්මා තමයි මට කියවන්න,පොත් ගන්න හුරු කලේ. හැම උපන්දිනේකටම තෑග්ග විදියට පොත් ලබන්න පුරුදු කලෙත්.. ටවුන් යන වෙලාවට එයාගේ අතේ තියන විදියට පොඩි පොත් මට අරන් දුන්නෙත්. මතකද ඉස්සර තිබුනේ මගේ ගී පොත..ඩිංගි ගුරා.. රුසියානු පිංතූර කතා.. ඉදන් එදාමෙදා තුර මගේ ජිවිතේ වයසෙන් වයසට පොත් ගැනුනා.. පොඩිකාලේ ගත්තුවා ලොකුවෙනකොට වෙන අයට දුන් නිසා දැන් ඒ පොත් නෑ.. ඒ ගැන නම් දැන් වෙලාවකට දුකත් හිතෙනවා.! ඒත් ඉස්සර අම්මා පොත් අරන් දුන්නා. දැන් මම පොත් ගනිද්දි අම්මා වෙලාවකට බණිනවා හම්බ කරන සල්ලි නාස්ති කරනවා කියලා. ඒත් කවදා හරි මං මැරෙන දාට දරුවෝ නැතත් පොත් ටිකක් වට කරගෙන මැරෙන්න මං ආසයි බං.

මුචලින්ද said...

උඹයි අපියි දුහුවිල්ලේ වත් නැති උනාට දුහුවිල්ලටත් ටිකක් උඩින් දැනං උන්න උන් එකෙක් දෙන්නෙක් අපි ආශ්‍රය කරපු එකම අපිව පොඩ්ඩක් ඉස්සරහට ගෙනාවා කියලත් මට හිතුනා. මාත් මුලින් කියවපු නැති තරමේ පොත් ටිකක් උඹලා නිසා මට කියවන්න ලැබුනා. මට මම පොත් කියවන්න පටන් ගත්තු හැටි මතක නැතත් උඹට ඒක මතක එක ගැන සතුටුයි. මොකද ඒක උඹට එක දවසකදි ඉස්සරහට හුඟක් වටීවි. මේක ලියන්න මග වැටිච්ච හැටි කලින් දැන උන්නත් මේක කියවද්දි ආපහු ආපහුත් මරු. ජය වේවා!

hare :-) said...

හික්... මේක කියෙව්වම මට පුදුම හිතුණා. මමත් බාගෙට ලියාගෙන ඉන්නෙ මගේ චිත්‍රපටි ඉතිහාසෙ ගැන දාන්න. ඒ මදිවට අද රචියත් දිරවගන්න ලේසි එකක් ලියලා....

මටත් කියවීම පුරුදු කලේ අම්ම. එයා කිව්වෙ අහුවෙන පත්තර කෑල්ල වුණත් කමක් නෑ කියවන්න කියල. ඒ නිසාම යන්තං අකුරු තේරෙණ කාලෙම මම කියවන්න පුරුදු වුණා. උඹට වුණා වගේ චිත්‍රකතාවලට මම සෑහෙන්න පොඩි කාලෙදිම යොමු වුණා. අපේ මාමලගෙ තරුණ කාලෙ නිසා එයාල කියවපු චිත්‍රකතා පත්තරේ දෙවෙනියට ලැබුණෙ මට. ඊට පස්සෙ මට අහු වුණේ මහජන පුස්තකාලෙ. ඒකෙ ඒ වෙනකොට තිබුණ කතා පොත් සේරම වගේ මම කියවල තිබුණ. ඒ මදිවට ඉස්කෝලෙ පුස්ථකාලෙත් මම නොකියවපු කතා පොතක් තිබුණෙ නැති කරම්.

ඒ වුණාට ඒ ලෙවල් වලට පස්සෙ කොළොම්පුරේට ඒමත් එක්ක කියවීම ටිකක් අඩු වුණා. ඒත් උඹ කියපු මුල් විදර්ශන පොත් ගෙදර, නුගේගොඩ සරසවිය, කොටුවෙ ගුණසේන එක වගේ තැන් වල ඉඳන් මම කෙටි කතා පොත් සෑහෙන්න කියෙව්ව. ඒ දවස් වල ඉරිද දවස ගෙවුණෙ පොත් කඩවලට ගිහින් කියවමින් ඉන්න තමයි.

දැන් නම් මම කියවන්නෙ නැති තරම්. කියවන්න තියෙන දේවල් වලින් මම නොපිරෙණ බවක් පහුගිය දවස් වල දැණුනා. ඒ එක්කම චිත්‍රපටි වලට ඇබ්බැහි වීමත් එක්ක පොත් ටික ටික අමතක ‍වුණා.

කියවීමේ අළුත් මානයකට යන්න හිතාගෙන ඉන්නවා... බලමු.

කොහොමත් කියවීමෙන් සම්පූර්ණ වෙනවා කියන කතාවත් සාපෙක්ෂයි. අපි කියවන දේ අනුව සමහර විට කියවීම නිසා පට්ට බූරුවෙක් වෙන්නත් පුළුවන්. ඒත් බූරුවෙක් වීමත්, පොරක් වීමත් දෙකම ආයෙත් recursively සාපේක්ෂයිනේ...

deeps said...

මාත් පොඩි කාලේ පිස්සු හැදිලා වගේ කියවන්න පටන් ගත්තේ ඔය තුන් යහළු වික්‍රමය ලියපු කෙනාගේ පොත් සෙට් එක කියෙව්වට පස්සේ :)

Il mondo di una povera pazza said...

ලිශ් ගේ කතාව ඇහුවම මට මතක් උනා අර සනී අන්කල් හා සමාන අප්පුහාමි බාප්පා. එයා තමයි අපේ වත්තේ පොල් කැඩුවේ. ඇස් පෙනෙන්නේ නැති වෙලත් එයා ගොඩක් දේවල් කල කෙනෙක්. ඉස්සර මගේ කතන්දර කියලා දුන්නේ එයා තමා. ඒවා පොත් හා සමානයි කියලා අද මට හිතෙනවා. ඒත් එක්කම අපේ ගෙදර මම උපදින දවසේ හිටන් නතර වෙලා හිටපු ගුරුවරු ඉඳන් හැමෝම මට පොත් තමයි ගෙනත් දුන්නේ. සමහර වෙලාවට එයාල මට පොත් ගෙනත්, නොදී මාව අඬවනවා පවා. ඊට පස්සේ ලිට්ල් ස්ටාර් හා විජය හැමදාම ගෙනත් දුන්නා. 82දි විතර රසියන් කතා පොත් හම්බ උනා මගේ මස්සිනාගෙන්. එතනින් එහාට ඉතින් ලොකු අයියලා අක්කල හිටි මට හැමදාම පොත් තිබ්බා.
ලංකාවෙන් පිට උනාට පස්සේ පාරේ තිබ්බ බෝඩ් එකේ ඉඳන් කියවන්න ගත්තා. ඊට පස්සේ ඉතින් විශ්ව සාහිත්‍යය තමයි. මෙහේ අතේ තියෙන ගානට පොතක් ගන්න එක සාමාන්‍යය දෙයක් නිසා ඒ දවස් වල පොත් කඩ පුරාම පදිංචි වෙලා හිටියා. සමර් සාහිත්‍යය උත්සව වල හෙම.
ඒත් සිංහල ඉගෙන ගත්තට පස්සේ ඉන්ටනෙට් එකෙන් කියවන එක මූලික උනා. මේ වෙද්දි මගේ මේසේ උඩ තියෙන පසුගියදා මගේ උපන්දිනේට හම්බ උනු පොත් හතරක්ම මුල් පිටු විතරයි කියවලා තියෙන්නේ.. අනිත් එක ඉතින් පොත් බෙදා හදා ගැනීමේ කලාවක් මට නැති නිසා ඉස්සර වගේ පොතක් අවුට් වෙනකම් බලා ඉන්නේ කතු වරු කීප දෙනෙක්ගේ විතරයි දැන්.
ඒ උනාට මේක නම් වෙනස් කරගන්න ඕනේ ආයෙම. මේ ළඟ කාලෙක මා මුහුන දුන් සිදුවීම් අනුව මිනිසුන්ට වඩා පොත් කියවන්න ඕනේ.

said...

කවදා කොහොම පොත්කියවන්න පටන් ගත්තද කියලා මට නම් මතක නැහැ හැබැයි අපි ගාව දන්න කාලේ ඉඳලම පොත් තිබ්බා. සීයලාගේ ගෙදර රසවාහිනී සහ නවයුගය සඟරා මිටි මිටිතිබ්බ නිසා ඒවා බැලුවා. පොඩි කාලේ චිත්‍රකතා පත්තර බලන එක මහා අපරාධයක් හැටියට සලකපු නිසා ඒක නම් කරන්න උනේ හොරෙන්. දොන්පීටර් පියතුමාගේ පොත් , කුලසේන ෆොන්සේකාගේ පොත් තමා මතක හැටියට මුලදිම සල්ලි වලට අරන් බැලුවේ.

මන් හිතන්නේ තාම මන් පොත් කියවන විදිහ වැරදියි. තාම ඔහේ උඩින් කියවෙන කතාව කියවනවා මිසක් ඒක ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ

Pathum Punchihewa said...

උඹ කියන කතන්දරේ යටින් යන තවත් කතන්දරයක් තියෙනවා. ඒ තමයි උඹේ ගෙදර මිනිස්සු නිහඬව උඹේ පොත් කියවන පිස්සුවට දෙන සහයෝගය. මොකද මට හම්බුවෙලා තියෙනවා පොඩි උන් පිස්සුවෙන් පොත් කියවනකොට තහංචි දාන අම්මලා තාත්තලා.
දෑන් මේ පෝස්ට් එක කියෙව්වහම මට මං ගෑන කියාගන්න ඕන ටික ලියනවා. අපේ අම්මත් තාත්තත් නියමම පොත් පිස්සෝ දෙන්නෙක්. මම ඉපදෙනකොටත් තාත්තා ගාව හොඳ පොත් එකතුවක් තිබ්බා. ඒ වගේම අදටත් වෙනම අල්මාරියක තියෙනවා තාත්තා එකතු කරපු මුතුහර, මනහර සහ සිව්දෙස සඟරා. 1983, ඒ කියන්නේ මම ඉපදෙන්නත් කලින් අවුරුද්දේ ඉඳන් 2004 විතර වෙනකල් සඟරා 98% විතර. ඔය අතරින් පතර රීඩර්ස් ඩයිජෙස්ට් සඟ්හරා වගේම මට මෙලෝ අලබෝලයක් නොතේරුනත් මම ආසාවෙන් චිත්‍ර බලන්න පුරුදුවෙලා හිටි චීන සඟරා මහ ගොන්නකුත්.
තාත්තා මම දෑනගෙන හිටි හොඳම පොත් එකතු කරන්නෙක්. මැරෙන්න කිට්ටුවෙනකල්ම තාත්තා ගෙදරට පොත් ගෙනාවා. ගොඩක් දවස්වලට පඩි දවස් වලට මම තාත්තා එනකල් බලන් ඉන්නේ මොනවද ගෙනාපු පොත් කියලා බලන්න. පස්සේ මම ටිකක් ලොකු වුනාට පස්සේ තාත්තයි මමයි පොත් ගෑන ප්‍රාමාණික සංවාද කෙටියෙන් වුනත් කරන්න පුරුදු වෙලා හිටියා. මට හෑමදාමත් හෂිත අය්යා සහ සචී අක්කා මතක් වෙද්දි අපේ අම්මත් තාත්තත් මතක් වෙනවා. දෙන්නම එකම අච්චුව.
ලිශා උඹට මතකද දන්නෑ 6 වසරේ අපි එකට ඉන්නකොට මම දවසක් සිංහල උගන්නන වෙලාවේ පොතක් කියවලා මාට්ටු. හැබැයි සිංහල මිස් හොඳ නිසාත් මට පොට්ටෙට වගේ ඒ දවස්වල සිංහල වලට වැඩිම ලකුණු තිබ්බ නිසාත් බේරුනා. හැබැ‍යි 3 වසරෙදී උගන්නන අතරේ ඩෙස් එක යටින් තියාගෙන ලස්සන වසිලිස්සා කියවලා මට්ටු වෙච්ච වෙලාවේ නම් මම ඒ තරම් වාසනාවන්ත වුනේ නෑ. කෙලින්ම පහුවෙනිදට අම්මව එක්කගෙන එන්න වුනා. මේ පොත් ඉතිහාසය තව ලියන්න ගියොත් මේක තව පෝස්ට් එකක් තරම් දිග වෙනවා...
මම මේ ටික කියලා නවත්තන්නම්. මම දැකලා ටියෙන දෙයක්. පොත් පත් කියවන මිනිස්සු එක්ක කතාකරන්න ආසයි. උන් කතා කරන විදිය ලස්සනයි. ඒකට හේතුව කියැවීමෙන් වාග් කෝශය, භාෂා ඥානය දියුණු වීම. මිනිහෙක් විදියට හොඳ කමියුනිකේටර් කෙනෙක් වෙන්න නම් ඇසූ පිරූ තැන් තියෙන්නම ඕන. ඉතින් උඹ වගේම ඇසුරට පොත් තරම් වෙන කළණ මිතුරන් වෙන කොහෙන් හොයන්නද...

සෝරෝ said...

මම නම් සල්ලි දීලා පොත් ගන්න පුරුදු වුනේ ගොඩක් මෑත කාලේ.. හිටපු ගමන් එක එක පොත් ප්‍රකාශකයෝ එනව නේ පොඩි පොඩි පොත් ප්‍රදර්ශන වලට අන්න එහෙම ආවම තමා මම පොත් ගන්නේ.. එහෙම නැතුව අපේ පැත්තේ ලොකු පොත් කඩ නෑ.. කිවයවන්න පුළුවන් ඒවා තියෙන් පොත් කඩවල නෑ.. ඒක නිසා ප්‍රදර්ශනයක් එනකන් ඉන්නවා..

මුල්ම කාලේ පොත් ගත්තේ ඉස්කෝලේ පුස්ථකාලෙන්.. පස්සේ මහජන පුස්ථකාලේ සාමාජිකත්ත්වය ගත්තත් එච්චර පොත් කිවන්න නම් බැරි වුනා..

මතක තියෙන විදියට මමත් ආසාවෙන් කියපු පොත් සෙට් එකක් තමා මොන්ත ක්‍රිස්තෝ සිටුතුමා පොත් 6.. සල්ලි දීලා මුලින්ම ගත්ත පොත ෂර්ලොක් හෝල්ම්ස් ගේ පොතක්..

හැබැයි ලිෂා ඔයා එක්ක බැලුවම මම පොත් කියවලා නෑ වගේ... :)

ප.ලි - දත කට මැදං ඉන්නේ හෙට පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න..

කාංචනා අමිලානි said...

අගේ ඇති පෝස්ට් එකක්.මේක කියෙව්වම මමත් අතීතෙට ගියා.මමත් 2 වසර 3 වසරෙ ඉදන්ම පොත් කියවන්න පුරුදු වුණ කෙනෙක්.අපේ තාත්තා ළඟ ලොකු පොත් එකතුවක් තිබුණා.ඒත් වැඩිපුර තිබුණේ ඉංග්‍රීසි පොත්.සිංහල පොත් ප්‍රමාණාත්මකව අඩුවෙන් තිබ්බේ.පුංචි,පුංචි කතන්දර පොත්වල ඉදගෙන නවකතා කෙටි කෙටිකතා කියවන්නත් ඉබේම පුරුදු වුණා.ඇත්තට අපේ ගෙදර හිටියෙ පොත් පිස්සො ටිකක්.පත්තර කියවීමත් ඒ වගේමයි.
මම 5 වසරෙ ඉන්න කොට තාත්තගේ සිංහල පොත් රාක්කෙ ළමයින්ට කියවන්න පුලුවන් ඔක්කොම පොත් කියවලා ඉවර වුණා.ඉතිං කියවීමෙ පිපාසෙ පිස්සුවක් වගේ එන්න එන්නම වැඩි වෙනවා.ඒ අතරෙ තමයි 'කරුමක්කාරයෝ'කියවන්න ගත්තේ.භාගයක් විතර කියවගෙන යනකොට අම්මා දැකලා මම කියවන පොත.සාර්ථක ගුටි පූජාවකින් තමයි ඒක අවසන් වුණේ.
චිත්‍ර කතා කියවිල්ලත් ඒ වගෙයි.අපිට තහනම් ඉස්සර සිත්තර,සත්සිරි,මධුර වගේ චිත්‍ර කතා කියවන්න.ඒත් කොහොම හරි මේව අපි හොරෙන් හොයාගෙන කියවනවා.ඒ කාලෙ මතක් වෙද්දි හරි සුන්දරයි.