Tuesday, May 31, 2011

ආදරේ නාමයෙන් මුව හමට තැලීම

love2
ඔබ කවදාක හෝ යුවතියකට/තරුණයෙකුට ආදරය කරනවා නම් මේ වන විට ඔහු හෝ ඇය සමඟ ඉතා මනරම් කාලයක් ගතකරමින් සිටින බවට සැකයක් නෑ.., Social Networks, Mobile, E-mail හා මේ වැනි බොහෝ දේ අස්සෙන් ගලනා ආදරය කාලයත් එක්කම යාවත් කාලීන වෙලා.., ඉස්සර ලියුම තුණ්ඩු කෑල්ලකින් හුවමාරු වෙච්චි ආදර දෙබස් වර්තමානය වෙනකොට නව තාක්ෂණය මුහුවීමත් එක්ක එක දිශානතියකට යටත් වෙලා ගලාගෙන යන වගක් හැඟෙණවා.

නිදසුනක් විදියට ඉස්සර ආදරය ප්‍රකාශ කර ලියුමක්, පොතක්, ලේන්සුවක් වැනි දෙයක් හුවමාරුවක් තුල තිබ්බේ සාම්ප්‍රදායික මුහුණුවරක් වුවත් මගේ පෞද්ගලික අදහස විදිහට එහි තිබුණේ හරිම සුන්දර බෙදාගැනීමක්. ඒත් මේ සුන්දර හුවමාරුව නැතිනම් බෙදාගැනීම, වර්තමානය වෙනකොට අර ඉහතින් කියන්නට යෙදුණු තාක්ෂණය හා එක්කාසුවීම් එක්ක කොතරම් ළඟ ඉන්නවා දැනුනත් කුඩා හෝ දුරස්ථ බවකින් පෙළෙන බව මට හිතෙනවා. කෙටියෙන් ම කියනවා නම් ප්‍රේමය යනු තවත් එක පරිගණක යෙදවුමක් බවට පත්වෙලාදත් කියා හිතෙනවා..,
ඒත් මේ මතයට එදිරිව උඩුගම් බලන මතයක් මේ ලිපිය කියවන ඔබට තියෙන්න පුලුවන්. නිදසුනක් ලෙස ඔබේ පාර්ශවයෙන් නැගෙන ගැටලු ලෙස

◄►කාලවේලාව මඳවීම
◄►පවුලේ අය හා ගත කරන්නට ඇති අවස්ථා ඌණ වීම
◄►සමාජීය කටයුතු වලදී අදාල චරිත පහසුවෙන් සම්බන්ධ කරගන්නට පැරණි ක්‍රමය තුල අපහසු වීම


මේ ආදී නොයෙක් කාරණා ඇතුලේ ඔබ තුල සාධාරණ විවේචනයක් ඉහත කියන්නට තිබුණ කාරණා අරභයා කියන්නට තිබෙන බවට කිසිඳු සැකයක් නෑ. සියල්ලටම මුල කාල ඌණ තාවය බව හැමදෙනාගේ ම තුඩ තුඩ නැඟෙන ප්‍රෂ්ණයක්. ඒ අතින් ඔබ සාධාරණයි. ඒත් අපේ අම්මලා තාත්තලා, අපට වඩා වැඩිමහලු අය අතීතයේ ඔවුන් පෙම්වතුම් ලෙස කාලය ගත කරනා අතරදී වූ අර අපි සාම්ප්‍රදායික ලෙස හිතා ඉන්න දේවල් අත්දැකීම් ලෙස එලියට එත්දී මිහිරියාවක් දැනී නොමැති නම් ඒ අතලොස්සක් වූ පිරිසකට පමණයි.
මේ හේතුව නිසා තමයි.., වර්තමානය වෙනවිට තමන්ගේ තනිවෙච්චි ආදරයට හුදකලා වෙච්චි සිතුවිලි වලට ජීවය පිඹින්නට වෙනත් විදියකට කියනවා නම් අන් අයගේ අවධානය ලබාගන්න අර ඉහත කියන්නට යෙදුනු සිතුවිලි සමාජ ජාල බිත්ති වල අලවන්නට පෙළඹෙන්නේ.., මේ අත්දැකීම මටත් පොදුයි.., මොකද මේ දේ මමත් කරලා තියෙන නිසා.., ඇත්තටම ඉන් අපිට අවධානය ලැබෙනවා.., වැටෙන කොමෙන්ටු වලින් හිතට පොඩි හරි ශක්තියක් ලබෙන බව නොකියාම බෑ. ඒත් ඉන් ඔබේ අනික් පස හිඳින පාර්ශවයට වෙන්නේ හිත් තැවුලක් නම්, දුකක් නම්, වැරදි අරුත් ගැන්වුමක් නම්, අර පිටස්තර [තමන්ගේ නොවන අයගේ] අවධානය ලැබීමේ අගය අපතේ යනවා නේද??
මේ ළඟකදී මම දැක්කා මගේ ඉතාම පරණ පාසල් කාලයේ මිතුරියක් Google Buzz එකේ සිය පෙම්වතාගේ ගැටලුවක් ගැන යමක් කියා තියෙනවා.., එයට ඇයගේ පැත්තට පක්ශව ඉතා හොඳ සංවේදී අදහස් දැක්වීමක් කර තියෙනවා මිතුරන් විසින්. ඒත් එහිදී ඇයට එකදු උත්තරයක් වත් පෙම්වතාගේ පාර්ෂවයෙන් ලැබුනේ නෑ. ඈ අදහස් කලේ පෙම්වතාගේ අවධානය දිනාගනීම වුවත් දැන් පෙම්වතා හැරෙන්නට ඉතිරි හැමදෙනාගේම අවධානය ලැබී තිබෙනවා.., ඒත් මේ ක්‍රියාව නොකර සිය පෙමවතා සමඟ සාම්ප්‍රදායිකව මුහුණලා කතා බහ කලානම් මේ වන විටත් දෙදෙනාම සතුටින්..,
කාලයත් සමඟ යාවත්කාලීන වීම අවශ්‍යයෙන් ම කල යුතු දෙයක්. ඒත් අපේ හිත් ගන්නා වූ ඒ සුන්දර හරයන් රැකගෙන..!
ජය!

4 කියවල මෙහෙම ලිව්ව ලු.:

Dee said...

සමාජ සබඳතා යාන්ත්‍රික වීම නම් හරිම ඛේදනීය පරිවර්තනයක්.. නමුත් කරුමෙ කියන්නෙ, ඔය යාන්ත්‍රිකරණය වීම තුළින්වත් අදාල දෙපාර්ශව වල වටහා ගැනීමේ මට්ටම් නම් ඩින්ගක්වත් දියුණුවෙලා නෑ වගේ. මොකද, සංන්නිවේදනයේ අඩුව එදා තිබ්බ විදියමයි කියාලයි හිතෙන්නෙ..

දුකා said...

හොඳ ලිපියක් ලිෂ් . .

සමහර අයට කෙලින් දෙයක් මූනට කියන්න බැරි පෞරුෂ ගැටලුත් තියෙනවනේ . .

එහෙම අයට මේ සමාජ ජාල අඩවි හොඳ පසුබිමක් සපයනවා වගේ හිතෙනවා . . .

ඒත් අර කිව්ව වගේ සිදුවීමක් මම දැක්ක නම් මම හිතන්නෙත් අනේ මේ ගෑනිට කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න කොන්ද පන නෑනේ කියලයි . .

එහෙම හිතුවාම ඒ වගේ අදහස් ප්‍රකාශ කරපු කෙනා තමන් විහින්ම තමන් ගැන අන් අයගේ හිතේ චිත්‍රයක් මවලා . .

බබා... said...

එදා සමාජය අද සමාජය ගැන කරන හොඳ විමසුමක්...

Hasitha said...

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙද්දී වෙනස් වීම විතරක් වෙනස් නොවී තියෙද්දී ආදරය ගැන කවර කතාද ???