Monday, July 27, 2026

චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!


සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක් බලලා ඉවර වුණාම වෙන්නේ වෙනම දෙයක්. කතාව ඉවර වුණත්, සිතුවිලි ආරම්භ වෙන්නේ එතැනින්.

ඔබ Memento බලලා තිබෙනවා නම් මතකය ගැනත්, The Prestige බලලා තිබෙනවා නම් කැපවීමේ මිල ගැනත්, Inception බලලා තිබෙනවා නම් සිහිනය සහ යථාර්ථය අතර සීමාව ගැනත්, Interstellar බලලා තිබෙනවා නම් ආදරය, කාලය සහ විද්‍යාව ගැනත් නැවත නැවත හිතලා ඇති. Dunkirk තුළ යුද්ධයේ බියත්, Tenet තුළ කාලයේ ප්‍රතිලෝම ගමනත්, Oppenheimer තුළ විද්‍යාව සහ සදාචාරය අතර ඇති ගැටුමත් ඔහු ප්‍රේක්ෂකයාට පෙන්වන්නේ සරල පිළිතුරු ලබාදෙන්න නොව, ප්‍රශ්න අසන්නයි. ඒ තමයි නෝලන්ගේ සිනමාවේ අනන්‍යතාව.

ඔහු CGI මත අධික ලෙස රඳා නොසිටින අධ්‍යක්ෂවරයෙක්. හැකි තරම් සැබෑ සටන් දර්ශන, සජීවී දර්ශනතල තුල නිමැවූ පිපිරීම් දර්ශන, සැබෑ ස්ථාන, IMAX කැමරා සහ ප්‍රායෝගික දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරමින්, ප්‍රේක්ෂකයාට “චිත්‍රපටය බලනවා” කියන හැඟීම වෙනුවට “චිත්‍රපටයේ කතාව ඇතුලේ ජීවත් වෙනවා” කියන අත්දැකීම ලබාදීමට ඔහු උත්සාහ කරනවා.

ඒ වගේම ඔහුගේ කතා බොහෝවිට රේඛීය නොවන ආකාරයට ගලා යනවා. කාලය ඔහුගේ චිත්‍රපටවල චරිතයක් වගේ. සමහර වෙලාවට එය ඉදිරියට යනවා. සමහර වෙලාවට පසුපසට යනවා. තවත් වෙලාවට එකම මොහොතේ දිශා කිහිපයක ගමන් කරනවා.
මේ සියල්ල නිසා නෝලන්ගේ චිත්‍රපට මට නම් එක වරක් බලලා සම්පූර්ණයෙන් තේරුම් ගන්න අමාරුයි. ඒවා නැවත බලන්න හිතෙනවා. හැම වතාවකම අලුත් දෙයක් සොයාගන්න පුළුවන්.

1998 වසරේ Following සිට 2023 දී Oppenheimer දක්වා, ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 12ම ලොව පුරා එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 6.7කට වැඩි Box Office ආදායමක් උපයා තිබෙනවා. The Dark Knight සහ The Dark Knight Rises බිලියනය ඉක්මවූ අතර, Inception, Interstellar, Dunkirk සහ Oppenheimer වැනි චිත්‍රපට වාණිජමය වශයෙන් මෙන්ම විචාරකයන් අතරත් දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගත්තා.

විශේෂයෙන් Oppenheimer ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් බවට පත් වුණේ, ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගැනීම පමණක් නොව, හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂවරයා ඇතුළු ඇකඩමි සම්මාන රැසක් දිනාගැනීමත් සමඟයි. ඒ නිසා ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක් පමණක් නොවෙයි. ඔහු සිනමාව භාවිත කරමින් දර්ශනය, විද්‍යාව, මනෝවිද්‍යාව සහ මානව හැඟීම් එකම තිරයක සංවාදයට ගෙන ආ කලාකරුවෙක්.

ඔබට නෝලන්ගේ චිත්‍රපටයක් බලන්න වෙලාවක් ලැබුණොත්, එය කතාවක් ලෙස විතරක් බලන්න එපා.
ඔබේ මනසට අභියෝග කරන අත්දැකීමක් ලෙස විඳින්න. 

Thursday, May 14, 2026

ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්‍රප්‍රාණී 0ක වටිනාකමක් දක්වා ගිය BYJU හී අරුම පුදුම ගමන් මඟ!


කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක් වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම් වරද තියෙන්නේ කා අතේ ද? 

2011දී බැංගලෝර්හී බයිජු රවීන්ද්‍රන් සහ දිව්‍යා ගෝකුල්නාත් සමඟ ආරම්භ කල think & learn නමින් ආරම්භ කල සමාගම 2015 offline flagship learning app විදියට තම ගමන BYJU ආරම්භ කරනවා. 

මෙහෙම යනකොට 2022 දී startup එකක් විදියට වැඩිම වටිනාකමක් වාර්ථා කරපු සමාගමක් වෙන්නේ BYJU. ඩොලර් බිලියනබ්22ක වටිනාකමක් සහිතව ලොවපුරා මිලියන 150කට අධික සිසුන් ප්‍රමාණයක් ලියාපදිංචි කරගනිමින්, Sequoia Capital, Prosus, BlackRock වැනි දැවැන්ත ආයෝජකයන්ගේ අවධානය සහ මූල්‍යමය සහය ලබමින් ඉදිරියට "අධිවේගයෙන්" ගිය ගමන සුලුපටු එකක් නෙවෙයි. 

"ඉන්දියාවේ අධ්‍යාපන අධිරාජ්‍යය" විදියට විචාරකයන් හඳුන්වපු BYJU, තම සමාගමේ ප්‍රචාරණයට ශාරුක් ඛාන්, ලියොනෙල් මෙසී වගේ දැවැන්ත ප්‍රතිරූප එක්කර ගන්නකොට හැමෝම හිතුවේ මීලඟ next big thing එක BYJU තමා කියලයි.

නමුත් 2024 ඔක්තෝම්බර් වනවිට, සමාගමේ නිර්මාතෘ බයිජු රවීන්ද්‍රන් කිව්වේ තමන්ගේ සමාගම “ශූන්‍ය වටිනාකමක්” දක්වා පහතට වැටිලා කියලයි. ඒක සමාගමක ආරම්භකයෙකුට කරන්නට වෙන දෛවෝපගත ප්‍රකාශයක් කියලයි හැමෝම කිව්වේ. මූල්‍යමය අතින් BYJU කොයි තරම් අසරණ වෙලා හිටියද කිව්වොත් Google Play Store එකෙන් තමන්ගේ ඇප් එක ඉවත් කෙරුණේ ඒක හොස්ට් කරලා තිබුණ Amazon Web Services එකට වාර්ශික ගාස්තු ගෙවන්නට වත් හැකියාවක් නොතිබ්බ නිසා කියලයි කියන්නේ. තවත් වෙබ් අඩවියක වාර්තා කරන්නේ සමාගමේ සේවකයින්ට පඩි ගෙවාගන්නට නොහැකිව රවීන්ද්‍රන් සිය නිවස බැංකුවට උකස් කල බවට පුවතක්. 

BYJU කියන්නේ කුමන ආකාරයක වත් වරදක් කියන්න තිබ්බ startup එකක් නෙවෙයි. මිලියන ගණනක පරිශීලකයන් ප්‍රමාණයක් කියන්නේ මූල්‍ය ලෝකය ඇතුලේ කිසි ලෙසකින්වත් නොසලකා හරින්න පුලුවන් අංකයක් නෙවෙයි.  මේ කඩා වැටීමට හේතුව වුනේ වසර ගණනාවක් තිස්සේම කරපු අනවශ්‍ය වියදමයි. 

විචාරකයින් සහ විශ්ලේෂකයන් කියන අන්දමට ඔවුන් ඉන්දියන් රුපියලක් උපයන සෑම අවස්ථාවක ම රුපියල් 2.73ක් වියදම් කරලා තිබෙනවා. උපයන ප්‍රමාණයට වඩා 173% ක් වියදම් කරනවා නම් ඔවුන්ගේ ගමන longrun එකක් වෙන්න කොහොමටවත් ඉඩක් නැහැ. 

BYJU විසින් 2022 මූල්‍ය වර්ශය තුලදී පමණක් ඉන්දියන් රුපියල් කෝටි 4144 ප්‍රචාරණයට වියදම් කරලා තිබෙනවා, ඒක සමාගමේ මෙහෙයුම් ආදායමෙන් 69% කියලා ගණන් බලලා තිබෙනවා. 
ඉන්දියානු රුපියල් 50000 සිට 100000 දක්වා මිල ගණන් වලට තිබුණු පාඨමාලා ඉන්දියාවේ මධ්‍යම පාන්තික දෙමාපියන්ට විවිධ විකුණුම් ක්‍රම ඔස්සේ අලෙවි කලත්, ඒවායේ තිබූ තරඟකාරී මිලගණන් වලට ගෙවීම් කරන්නට ඇති හැකියාව ගැන ගැටලු මතු වුණා. 

නමුත් යම් හෙයකින් මුදල් ගෙවන්නට හැකියාවක්  නැතිවුවහොත් ඒවා BYJU සමාගම විසින් ගෙවන්නට වගකීම් භාරගත්තා. පරිශීලකයන්ට එය මනා අවස්ථාවක් වුවත. BYJU සමාගමට මේ ගෙවීම් ආකෘතිය “වතුර කාන්දු වන බාල්දියක්” වගේ වුණා. මුදල් ඉක්මනින් ගලා ආවත්, එය ඊටත් වඩා වේගයෙන් එලියට ගලා යන්නට ගත්තා.

ඒ වගේම 2017 සිට 2022 දක්වා කාලය අතරේ BYJU ඩොලර් බිලියන 2.8ක් වැය කර සමාගම් 12ක් මිලදී ගත්තා. WhiteHat Jr, Epic, Great Learning සහ Aakash Educational Services වැනි සමාගම් ඒ අතර වුණා. ඉලක්කය වූයේ “සියලු වයස්වලට, සියලු විෂයයන්ට” ගැලපෙන අධ්‍යාපන super app එකක් නිර්මාණය කිරීම.

නමුත් ප්‍රායෝගිකව එය පූර්ණ විධිමත් තත්ත්වයකට පත් කරගන්න BYJU වෙතට හැකියාවක් තිබුනේ නැහැ. අත්පත් කරගත් සමාගම්වල ගිණුම් එකට ගැලපීමට නොහැකි වුණා. 2021 මූල්‍ය වසරේ වාර්තා මාස 17ක් ප්‍රමාද වුණා. අවසානයේ හෙළි කරගත් අන්දමට 2022 මූල්‍ය වසරේ අලාභය පමණක් රුපියල් කෝටි 8,245 ලෙස වාර්තා වල සටහන් වුණා.

මේ අන්දමින් BYJU වෙත අනතුරු සංඥා වසර ගණනාවක් තිස්සේ පෙනෙවමින් තිබුනා. WhiteHat Jr කෝඩිං වලින් මිලියන ගණන් උපයන “Wolf Gupta”දරුවෙකු ගැන කියමින් දැන්වීම් පලකලා. නමුත් අවාසනාවකට ඒ ගුප්තා නම් දරුවා සත්‍ය චරිතයක් නොවෙයි. එය fictional character එකක්. 

මෙය හෙළිදරව් කලේ විචාරකයෙක්.  ඔහුට විරුද්ධව BYJU කෝටි 20ක අපහාස නඩුවක් පවරනවා. මේ අතරේ Deloitte සමාගම BYJUහී විගණක ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ප්‍රධාන ආයෝජක මණ්ඩල සාමාජිකයන්ද ක්‍රමිකව සමාගමෙන් ඉවත්වෙන්න ගන්නවා. ඔවුන් පවසන්නේ සමාගමේ පාලනය හා එහි තිබියයුතු විනිවිදභාවය සම්පූර්ණයෙන් නොසලකා හැර ඇති බව.

මීට කලින් 2021දී ඩොලර් මිලියන 533ක් අතුරුදන් වූ බව හෙළි වෙනවා. ණය දායකයන් චෝදනා කළේ එම මුදල් Florida හි සැකසහිත hedge fund එකකට මාරු කර ඇති බව. පසු අධිකරණ සොයාගැනීම් සහ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඒ මුදල් නීත්‍යානුකූල වාණිජමය අරමුණු සඳහා භාවිතා කිරීම වෙනුවට BYJU Raveendran සහ ඔහුගේ අනුබද්ධ සමාගම් වෙත "ආපසු" ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත්, BYJUහී කඩාවැටෙන අධිරාජ්‍යයෙන් බේරී ගියේ එම ඔවුන් මිලදීගත් Aakash Educational Services සමාගම පමණයි. ඔවුන් නිවැරදි මූල්‍ය උපක්‍රම භාවිත කරමින් ලාභදායීව දිගටම ක්‍රියාත්මක වුණා. JEE සහ NEET වැනි විභාග සඳහා සිසුන් පුහුණු කරමින්, අවසානයේ සැබෑ මුදල් ප්‍රවාහයක් නිර්මාණය කළේ එම සාම්ප්‍රදායික offline coaching model එක විසිනුයි. අවසානයේ BYJU’S හි කොටස් හිමිකම 5%ටත් අඩු බව හෙලිවෙනවා.

විසල් ගසක්ව ඉතා කෙටි කලකින් හැදී වැඩුනු BYJ. ඒ වේගයෙන් ම  කඩා වැටීමෙන් ලෝකයට ලැබුණු විශාලම පාඩම වන්නේ,  “valuation” යනු “value” නොවන බවයි. ආයතනයක් ගොඩනඟන්නේ අසීමිත වර්ධනය නොව, විනය, විනිවිදභාවය සහ තිරසාර ව්‍යාපාරික ආකෘතියක් විසිනුයි.  

වර්ධනය පාලනයකින් තොරව ගිය විට එසේවෙන සමාගම සාර්ථක එකක් බවට පත්වන්නේ ඉතා අඩුවෙන්, ඊට කලින් ඒ සීමාරහිත පාලනය කරගත නොහැකි වර්ධනය සමාගම් යාන්ත්‍රණය ඇතුලාන්තයේ ඇති දුර්වලතා නිරාවරණය කරනවා.! 

පින්තූරය : Reddit. 
මූලාශ්‍ර : 
Web: DNA India, CBNC, Darpansaxena, Sky news.

Youtube : Business today, Ani podcasts with Smita Prakash clips, Unravelled by shanker, Powerup with pradeep.

Reddit: r/StartupIndia