Friday, April 1, 2011

මිනිසා වූ කලී...,

මිනිසා වූ කලී අමුතුම සතෙකි.., විශ්වයේ සිටිනාවූ සියල් සත්වයින්ගෙන් මවුකිරට අමතරව අනුන්ගේ කිරිද පානය කරන, උපතේ සිට මරණය දක්වාම කිරිබොන එකම සත්වයා වන්නේද මිනිසාය.., ලොව දියුණුම සත්තවයා වුවද ලොව ඇති දුර්වලම ගතිගුණ ඇත්තේද මොවුන්ට ය.
ගතිගුණ අතිනුත් ගත්කල විවිධ කුලක වලට අයත් වන සත්වයින් හට ඇත්තේ එක හා සමාන ක්‍රියාකරකම් වුව.., මනුස්සයාගේ එලෙස නැති. එකිනෙකාට වෙනස් ගතුගුණ ගිණිය නොහැකි තරමට ම මනුස්සයා විවිධාංග වලින් සජ්ජිත වෙති. අවිහිංසාව ගැන කතා කරතත්.., වැඩිම සත්ව සංහාරයන් වලට දායක වන්නේද මිනිසා ය. එමෙන්ම පරිසරය රැක ගැනීම ගැන කොතරම්ම ම පෙරමුණ ගෙන කටයුතු කරද වැඩිම පරිසර දූෂණය සිදුවන්නේද මිනිසා නැමති සත්වයාට පිං සිදුවන්නට ය.

කුලක ලෙස ගත් කල මිනිසුන් ඉතා ඉහල පරිමාණයකට වර්ග කල හැකිවේ. රටවල්, ප්‍රාන්ත, ගම්, නම්,පක්ෂ, සිරුරු වර්ණය මේ ආදී නා නා ප්‍රකාර ක්‍රමවේදයක් අනුකූලව එම බෙදීම් කලද සකල ලෝ වාසී මනුසතුන්ට සම්පාත වන එක ගුණාකාරයක් ඇත. ඒ රුධිර වර්ණයයි. ලේ ගලන්නේ එකම අතට වුව මිනිසුන් වඩාත්ම අසංවේදී මේ ඉහත කියන්නට යෙදුනු පොදු සාධකය අරභයා ය.
තවද ගැහැණියක හා මිනිසෙකු එක්ව ඉදිරි ජීවිතය සඳහා කුටුම්භ කරණය වන එක්තරා අවස්ථාවක් පවතී. එය විවාහය නමින් හඳුන්වයි.., විවාහයට පාදක වන පුද්ගල සංවේදනාව ආදරය නමින් හඳුන්වතත්.., විවාහ පවත්වන සෑම අවස්ථාවක මේ මූලධර්මය පාදක වෙන්නේ නැති. ඒ වෙනුවට ධනය, ලොභය, කාමය මේ ආදී නෙක හේතූන් පාදක වෙන අවස්ථා අවට ලොව සුසර කෙරුමෙන් උවමනා තරම් සොයාගත හැකියැ.
තේකක් වුව සීනි උවමනා තරමට වඩා වැඩි වූ විට තේකක් වුව අපුල වේ. කසාදය ද එසේ ම ය. අපුල වු විවාහ ජීවිත ඇත්තත් සිය සහයකයාට අමතරව අයෙකු හා සම්බන්ධයක් පවත්වනවා නම් ඒ නව සම්බන්ධය "අනියම්" එකක් ලෙස ලේබල ගත වේ.., අදාල තත්වය දරා ගැනීමේ අගය පසුකර යන විට ඇතිවන මානසික පීඩනය කරණකොට ගෙන ගන්න නීතිමය ක්‍රියාමාර්ගය "දික්කසාදය" ලෙස ලේබල ගත වෙතත් පසුව කරුණු කාරණා තේරුම් ගිය පසු හෝ වන්දියක් ගෙවා ඉවත් වන්නට වත්කමක් තමා සතු නොවන අවස්ථාවන් හිදී අදාල සිද්ධිකාරකයෝ එකතුවන අවස්ථා ද නැත්තේම නොවේ.., සාහිතවාදියෝ "කසාදය දික් වූ විට දික්කසාද වෙනවාද..?" යන පෙණුමින් විදග්ග එනමුදු අතිශය මැටි ප්‍රකාශය කරන්න පුරුදුව සිටින නමුදු උන්ගේ ජීවිත බහුතරය තනිකම පාදක මනුස්සකම් ඔස්සේ වැටී ඇති බව තේරුම් ගත යුතුවේ.

ලෝකය තුල මේවන විට බොහෝ ස්ථාන වල ව්‍යාප්ති වී ඇත්තේ පීතෘ මූලික සමාජයන් වුව.., විවිධ ගෝත්‍ර හරහා සමාජය අවට ලොව හා බද්ධවන අවස්ථාවන් හිදී ඒ මාතෘ මූලික හැඩයක් ගනී. ඒ බොහෝ තැන් වල පිරිමියා කුටුම්භරක්ෂා කරන්නා යන චරිතයත් ගැහැණිය ගෘහණී, බිරිඳ, මව යන තුන් අවස්ථාව තුල විකාශනය වන චරිතය රඟන්නට පටන් ගැනීමත් සමඟය. එහිදී [අදාල තැනින් තැනට] භාවිතා කරන භාෂාව ද වෙනස් වීම් වලට ලක්වන බව අපට නිරීක්ෂණය කල හැකිය. නිදසුනක් ලෙසට.., විවාහයට පෙර පෙම්යුවලක්.., ඔයා මෙයා බබා සුදු මේ ආදී නෙක මෘදු වදන් භාවිතා කරන අතරම විවාහයෙන් ටික කලක් ගෙවුන තැන.., පිරිමියාගේ/ගැහැණියගේ නමින් හෝ මේ, ඒයි ඕයි වැනි වදන් හෝ ඊටත් එක ගිය වදන් භාවිතා කරන ආකාරය අපට නිතර හමුවන සමාජයෙන් උකහා ගත හැකිය. මීට අමතරව සිය කුරුම්භයට නව සාමාජිකයෙක් එකතු වීමෙන් පසුව බොහෝ තැන්වල [තවමත්] පුතාගේ අම්මා/ දුවගේ අම්මා හෝ දුවාගේ තාත්තා/දුවාගේ අම්මා යන නම් වලින් දම්පතීන් හඳුන්වා ගන්න අවස්ථා දුලභ නැති.
මේ ආකාරයෙන් තමාගෙන් උත්පාද වූ දරුවාන් හරහා ජණනය වන පරපුර ඊට ඉහලින් සිටින පරම්පරාව මුණුබුරු මිණිබිරියන් ලෙසත් පහලින් සිටින පරපුර තම ඉහල සාමාජිකයන් ආතා, ආච්චි යන නම් වලින් ද හඳුන්වනු ලැබෙත්. තවද පරපුරෙන් පරපුරට පැවත එන දේපල තමාගෙන් පසු ප්‍රයෝජන ගනිමින් පවත්වාගෙන යාම සඳහා අදාල අවස්ථාව වන විට ශක්තිවන්තව සිටිනා සාමාජිකයන් ට පවරන ගුණය සත්ත්ව ලොව එකදු සතෙකුට වත් නොමැති මනුසතා ට පමණක් ම ආවේණික වූ ගුණයකි.., මේ අකලංක පරිත්‍යාගී බවට මනස සුසර කරවන ජානය තවම ලොව විසින් අඳුණා ගෙන නැතත්.., කල් ගොසින් හෝ අඳුණා ගතහොත් ඉන් මනුස්ස ජීවයට අත්වන්නේ මනා වාසියකි.
ඉහතින් පවසන්නට යෙදුනාසේ සිය ජීවන සහකරුවා තෝරාගන්නට සිය මනාපය පුද දීම ප්‍රේමය නමින් හඳුන්වන අතර ම, වෙසෙන රට පාලනය කරන්නට සුදුස්සා තෝරන්නට සිය මනාපය පුද දීම ඡන්දය නමින් හැඳින්වේ. තනතුර බලාපොරොත්තු වන්නා අපේක්ෂකයා නමින් හඳුන්වන අතර මනාපය ලබාදෙන්නා දායකයා ලෙස නාම ගත වෙයි. මනාපය ලබාගන්නා විසින් මනාපය ලබාදෙන්නා අන්දන අවස්ථා ඇතත් හැම ගහටම කොට කොට යන කොට්ටෝරුවාගේ හොට කෙහෙල් ගහට කෙටූ පසු කෙලවීමේ සිද්ධාන්තය සත්‍යක් කරමින් මනාපය ලබාගන්නාවුන්ට කෙලවීමේ අවස්ථා අවට ලොවේ සුලභය.., අයිවරි කොස්ට් සිද්ධිය ඊට නිදසුන් වේ.එවැනි ඉහත කියන්නට යෙදුනු ඊනියා මනාප භක්ෂකයින්ට දේසපාලුවා යන නාමයද භාවිතා කරන බව ප්‍රකට කාරණාවකි.
තමාගේ මනාපය හිමිකරගත් පුද්ගලයා කුටුම්භරක්ෂකයා වූ පසු අවට ලොව සමඟ ගනුදෙනු කරන්නා වූ මාධ්‍යය හඳුන්වන්නේ මුදල් යන නමින් වේ. රට රටවල් අතර විවිධාකාර නාමයන්ගෙන් සජ්ජිතව විවිධාකාර මාධ්‍යයන් ගෙන් මුදල් යන සංකල්පය හුවමාරු වෙතත් සසිරිපිරි මෙ සිරිලක ඉහතින් කියන්නට යෙදුනු ඒකකය රුපියල් යන නාමය අත්පත් කරගෙන ඇත. ජනතාවට සේවය කර ගසාකන්නේත්, සමහර ගණින්නාන්සේලා සිවුරු පුරවාගෙන ආගමේ නාමයෙන් ගොඩගසන්නේත් මේ ඉහත කී රුපියල් ම ය.
සමහරුන් හට එක තත්ත්පරයක් තුල හම්බ කරනා මුදල උපයන්නට තවකෙකුට කල්පෞඅක් යයි., අසාධාරණව හරි හම්බ කරන මුදල ජරාව ලෙසත්.., මහන්සියෙන් හම්බ කරන මුදල රන් මරු ලෙසත් රට්ටු නාම ගත කලත් .., ජරාවද රන්මසු වන අවස්ථා නැත්තේ නොවේ. ඒ කලු සල්ලි නීත්‍යානුකූල කිරීමෙනි. වරෙක රට කරවන කෙනෙකු අස මුදල් ඇමැති කම් කල ඇන් ඇම් විසින් කලු සල්ලි නීත්‍යානුකූල කරන්නට යාම නිසා අපේ පෙට්ටගම් අස්සේ තියා රක්ෂාකල සල්ලි අපේ ආතා ආච්චිලාට පුච්චා දමන්නට වීම වැනි කරදර අතීතයේ වී ඇති.., යම් දෙයක් ගැන ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම අනවබෝදය හෝ මෝඩකම යන නම ලබාදෙන්නේ මේ හේතුව නිසා විය හැකිය.
කෙසේ වුවත් සමාජ පරිවර්තන හා කරදර අතර ගෙවන ජීවිත වලට කාලයේ පුලින තලාවන් අතර ගෙවී යාම වියපත් වීම හෙවත් වයසට යාම නම් ලබයි.
ආසියා මහද්වීපය තුල සම්මත ආයු අපේක්ෂාව පිරිමි නම් 65ත් කාන්තා නම් 72ත් වන අතර.., මේ අතර ජීවිතය ගෙවන්නන් ඉහතින් කියන්නට යෙදුනු ජීවිත සංකීර්ණ කරන හේතු කාරක නිසාවෙන් ගැහැට වල පැටලෙති.., විසඳුම් සොයති කෙටියෙන් කියනවා නම් ජීවිතය හා හැප්පෙති. අවසන නිරුවතින් ලොවට ආ මිනිසා දුහුවිලි බවට පත්ව මේ ලොවින් චුත වෙති. මේ සරළ සත්‍යය අවබෝධ කරනොගනීම කරණකොට ගෙන සමහරක් මිනිසුන් ජීවිත අසහනය නොලබාම අවසානයක් කරා යති. තාවකාලික නිවහනක් වන මේ අත්භව පරිපූර්ණව අවබෝධ කරගත්තෝ සුගතියට පත්වෙති..! අවසන මේ සියල්ල බලා විමසා මේවාට පරිබාහිර විරුද්ධ අදහස් ඇත්තෝද රඟහල තුල සිය චරිත රඟ දක්වා අවසන ජීවන ජාලරයට එපිටින් තවත් චරිතයකට සැරසෙති..!
ජීවිතය එහෙමය.

3 කියවල මෙහෙම ලිව්ව ලු.:

Prabhath Darshana said...

මනුසතාගේ ජිවිතය අපූර්වාකාරයෙන් ඉදිරිපත්ව ඇත.

Pathum Punchihewa said...

ජීවිතේ හැටි ඔන්න ඔහොමය. සරල එහෙත් සාර්ථක විග්‍රහයක් මචන්.

රස්තියාදුකාරයා said...

එළටම ලියලා තියනවා සුභ පතනවා.