Saturday, August 8, 2009

විවේක නැති තරුණ හිතට බෙහෙත් තෙල් බිංදුවක්...!

123

"පහුගිය දවස් වල තිබ්බ කරදර නිසා ඔලුව නිකං යකාගේ කම්මල වගේ. හිතට කිසිම නිදහසක් නෑ. අනේ මංදා. කොහොමට හිටපු කොල්ලෙක්ද? අද මෙහෙම පිස්සෙක් වගේ කල්පනා කරන්නේ... "

මෙහෙම එක පාරටම කිව්වාම, ඔබ බය වෙන්න එපා. මම මේ කියන්න යන්නේ අද කාලේ හැම තරුණයෙකුටම වාගේ තියෙන ගැටලු ටිකක් ගැන. ඒ තමා හිතට කිසිම දේකින් නිදහසක් නොමැතිවීම. මාත් ඇතුලුව. ඇඟිළි ගනින්න ඇඟිළි තුඩු දහයක් තිබ්බත්. සියවරක් ගැන්නත් ගෙවෙන්නෙ නැති තව අවධානය යොමුකළ යුතු අංශ මුලට ආවත් ඒ අතරිනුත් මුලටම එන එකක් තමා මේ ප්‍රෂ්ණය. හරි.., අපි දැන් තියෙන පුංචිම තැනින් පටන් ගමු.

ඇයි අපිට මුදල් අවශ්‍යය...?
"හරියට හරි.....!  හිතනවා නේද ඇයි මුදල් අපේ ජීවිතේ ට ඕනි කියලා..! තව හිතන්න...! මේ මොහොතේ ඔබ හිතන දේ තුල පෙර නොතිබූ අවශ්‍යතාවන් පෙනී.., ඇයි අපිට මුදල ඇත්තට ම අවශ්‍යය කියා පෙනෙන්නට ගනීවි. "
ඉතාම සරළව කිව්වොත් අපිට සල්ලි උවමනා වෙන්නේ "ජීවත් වෙන්න". ඊට පස්සෙ තමා අනෙක් උවමනා හා අවශ්‍යතා ඔතනට ආදේශවන්න පටන් ගන්නේ.
"ඇඳුම් පැළඳුම්, යානවාහන, කෙල්ලෝ" මේ ආදී එකී නොකී උපයෝගිතාවන් අපේ ජීවිතය අවශ්‍ය වෙන්නේ ඇයි..? ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමට ඉහත කී අයිතමය [මුදල්] දැඩිලෙස අවශ්‍ය බව.., අපටත් හොරා අපේ යටි හිත අදහන්නට පටන් ගෙන තියෙන නිසයි.

ඉන් අපට මිදෙන්න බැරිද?
ඇයි බැරි..? පුළුවන්.. යම් තරමක ට. නිදසුනක් විදියට අපිට වඩා [සමහර] පැවදි උතුමෙකුට මුදල් වැයවෙනවා අඩුයි. ඒ උන්වහන්සේලා ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගෙන ඇත්තේ එක්තරා රාමුවක් ඇතුලත නිසයි. මේ ලියමන ලියන මාහටත් ඒ උක්ත උපයෝගිතාවන් ගෙන් මිදෙන්න බැරි උනත් මම හොඳට ම දන්නවා ඉන් මිදුනු ජීවිතය ඉතා නිදහස් වග.

චිත්‍ර ශිල්පීන් යුවළක්
මීට කලකට පෙර මට හමුවූවා මුදල් වලට යට නොවී ජීවිතය ස්වයං පෝශිත කරගත් චිත්‍ර ශිල්පීන් යුවලක්. ඔවුන්ගේ ජීවිතය ඉතා නිදහස්. ඔවුන් දෙපළත්, දරු දෙදෙනාත් ජීවත් වන්නේ., ශ්‍රී පාද හිමය [වනය] ආසන්නයට වන්නට නිවසක් සාදාගෙන. ජීවිතය ගෙනයන ඔවුන් දෙපල ට ඇත්තේ ඉතාමත් අල්පේඡ්ඡ දිවිපෙවෙතක්. ඒ වුනත් නව්‍ය තාක්ෂණය හා තොරතුරු ලබා ගැනීම අතින් ඔවුන් අපටත් වඩා යාවත්කාලීන යැයි කියන්නට පුලුවන්. අනෙක් වැදගත් ම දේ තමා ඉහත පවසන්නට යෙදුනු දෙපළ 100% ආදායම ලබාගන්නේ චිත්‍ර හා මූර්ති නිර්මාණකරණයෙන් වීම. නිර්මාණයක් දෙකක් කර ඔවුන් ලබාගන්නා මුදල් ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිතා කර ඉන් සියලු අවශ්‍යතා ඉටුකර ගන්නවා.

එමනිසා අතේ තියෙන මුදල "සම්මා සතීයෙන්" [යහපත් සිහිබුද්ධියෙන්] යුතුව වියපැහැදම් කරනවා නම් මේ ගැටළු වලට මූණ පාන්නට වන්නේ නෑ. එමනිසා අප මුදල් වල වහලුන් නොවී මුදල් අපගේ වහලුන් කරගත යුතුයි.

කෙල්ලෙක්/කොල්ලෙක් එහෙම මේ වයසට ඉන්න ඕනි නේද..?
" ඔව් නේද..? හිටියත් හොඳා නොහිටියත්..., ඒත් හොඳා..., අනේ මංදා..! "
අපි මුලින්ම බලමු අපිට මේ වයසට කෙල්ලෙක්/කොල්ලෙක් හා සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්න අවශ්‍යය වන්නට හේතුවන ශාරීරික උත්තේජනයන් මොනවාද කියලා... මූලිකව ම, තරුණයෙකු/තරුණියක යොවුන් වියට පත් උනා ම හෝමෝන ස්‍රාවය වීම [තරුණියකට නම්  ඊස්ට්‍රජන් , තරුණයෙකුට නම් ටෙස්ටෙස්ටරොන්] අන් වයසට සාපේක්ශව ඉහල අගයක් ගන්නවා. මේ අනුව සිරුරේ ඇති ස්නායු පද්ධතියේ වන උත්තේජනයන් තම සහකරුවා හෝ සහකාරිය සොයාගැනීමේ ක්‍රියාවලියේ මූලිකම අඩිතාලම සපයනවා. ශරීරයේ ක්‍රියාවලිය මෙසේ වන විට, මීට අනුබල දෙන තවත් අංශයක් තිබෙනවා. ඒ බාහිර සමාජයයි. බාහිර සමාජය තුලින්ද අපට මානසික උත්තේජනයන් ලබාදෙනවා
උදාහරණ ලෙස..,


*තම සමවයසේ යහළුවන්ට එවැන්නන් සිටීම..
*යොවුන් වයසට පත් වීමේදී එවැනි සබඳතා සඳහා සබකෝලය මුසු වූ ආසාවක් [කිතියක්] පැවතීම..
*මිතුරන් තමන් ලද අත්දැකීම් යහලු යෙහෙළියන් හා බෙදාගැනීම්..
*එමනිසා තමන් හටත් උක්ත අත්දැකීම් ලබා ගැනීමට සිත්වීම..

මේ ආදී වූ විවිධ බාහිර හේතු කාරණා තරුණ සිත ඒ පිළිබඳව ඇද බැඳ තබා ගැනීමට හේතු වෙනවා.
"සඳ එලිය මෙන් අචින්ත්‍ය වූ ආදරයක් කරන, ලබන, යොවුන් කොටස් සිටීනම් ඒ ඉතා අල්පයි." බොහෝ තරුණ කොටස් වලට "තමා අනෙකාට ආදරය කරන්නේ ඇයි?" යන ගැටලුවට උත්තර දෙන්නටවත් හැකියාවක් නැතිතරම්. මම බොහෝ මගේ මිතුරන් ගෙන් මේ ප්‍රශ්ණය ඇසුවාම ඔවුන් සතුව  මා හට දෙන්නට තරම් ඍජු සාධාරණ පිළිතුරක් තිබුනේ නැහැ.


"නමුත් මතක තබා ගන්න. මා මේ කතා කරන්නට යෙදෙන්නේ ‍යෞවනයන් ගැන පමණයි. එසේ නැතිව නිසිවයසේ දී නිසි දේ  කරගන්නට නොහැකිව කාමාපචාර වල යෙදෙන අසහන්කාරී මැදිවියැතියන් ගැන නොවෙයි."

කෙසේනමුත් තමන් හට අනාගත සහකරුවෙක් සොයාගන්න උත්සහ කරනවා නම් මගේ මතයේ හැටියට,   තමා ගත් තීරණය.., ජීවිත කාලයට ම පසුතැවිලි නොවන්නක් විය යුතුයි. තවද, සහකරු/කාරියක් තෝරා ගන්නා අවස්ථාව වනවිට තමා හැරුණුකොට තවත් ජීවිත දෙක තුනක වත් බර දැරීමට අවශ්‍ය ශක්ති වපසරිය තමා සපයා ගත තිබිය යුතුයි. ඒ ජීවිත කාලය පුරාවටම ඔහුව/ඇයව තෝරාගැනීමේ දී.., ඔහු/ඇය හා විසීමේදී.., තමා වෙතට වගකීමෙන් හැමවිටම 50%ක කොටසක් පැවරී ඇති නිසාවෙන්.

ඉන් අපට මිදෙන්න බැරිද?
පුලුවන්. නමුත් ආසියාතික සමාජය තුල තනිකඩයින්ට හිමිවන්නේ අවම ඉඩක්. තරුණ වයසේ දී ඒ ඉඩ ඉල්ලුමක් [Demand] බවට පරිවර්තනය වුවත්.., කෙමෙන් කෙමෙන් මැදිවයසට ලංවන විට සමාජය ඔහුව/ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේපය නිසා පවතින සමාජයට වෛරකිරීමට පටන් ගන්නා ඔහු/ඇය, විවිධ ක්‍රියාවල යෙදෙමින් [හොඳ/නරක] තම සිත සුවපත් කර ගැනීමට වෙහෙසෙනවා.
මේ තත්ත්වය ආසියාව තුළ මෙසේ වුවත් යුරෝපීය රටවල වෙනස් මඟක් ගන්නවා. තමා ජීවිතය තුල තනිකඩව සිටීමට හේතු වුන කරුණු කාරණා සොයා ඒවාට ප්‍රතිකාර කිරීම එහි එක අවස්ථාවක් හැටියට පෙන්වා දෙන්න පුලුවන්.

වාහනයක් මේ වයසට තියෙන්නම් ඕනි...!
මගේ සමහර යාලුවෝ මේ වනකොට තමන්ගේ පළවැනි කාර් එක ගන්න හදනවා. තව සමහරුන්ට සා/පෙළ , උ/පෙළ සමත් වූවාට පසුව කාසිකාර දෙමවුපියන් විසින් වාහන අරන් දීපුවත් තියෙනවා. මොනා උනත් තමන්ට වාහනයක් තියේනම් තරුණ වයසේ දී උත්සහා කරන්නේ එය හැඩගන්වමින් ආකර්ශණයක් එකතු කරන්නටයි. තරුණ කොටස් කොහොමත් දන්නවා වාහනය වටිනා කමින් වැඩිවෙන්න වැඩිවෙන්න ලීටරේට වැඩකරන සැතපුම් ගාන තරමට ම සමහර විට ඊටත් වඩා වැඩිපුර කෙල්ලො/කොල්ලෝ වැඩකරන වග [හිකිස්] .

නමුත් අවාසනාවකට..,
ලංකාවේ වැඩිපුර සිටින්නේ මධ්‍යම පාංතිකයන් ගේ දරුවෝ [මා ද ඇතුලුව]. සමහර ඉහල මධ්‍යම පාංතිකයනට එවැන්නක් සඳහා ප්‍රාග්ධනය විතැන් කිරීමට හැකියාව තිබුනද, බොහෝ අඩු ආදායම් ලාභී කොටස් වලට එය සිහිනයක් බවට අද පත්වෙලා. මීට ඔවුන් ලබන ආදායම් තත්ත්වය පමණක් නොව රටේ ආර්ථිකය ද බලපානවා. ඒ ඔවුනගේ ආදායම් තත්ත්වය ට රටේ ආර්ථිකය මඟින් ඍජු බලපෑමක් එල්ල කරන නිසයි. වාහනයක් ගැන හිතීමේදී දහසක් පැති ගැන සිතන්නට වෙලා. සිය පවුල, මාසික වැටුප, දෛනික වියපැහැදම්, ඉතුරුම්, නිවාස රහිත නම් ගෙවල් කුලී, නිවාස සහිත නම් නඩත්තු වියදම් මේ ආදී එකී නොකී උපයෝගිතාවයන් ගැන සලකා බලන්නට වෙනකොට තමා අත සාධාරණ මුදලක් ඉතිරි නොවන තරම්.

වාහනයක් නැතුව ඉන්න ම බැරිද...?
ඉහත ගැටලු වලට දුන්න පිළිතුර මෙයටත් දෙන්න පුලුවන්. " ඇයි බැරි.., පුලුවන්" අපි වාහනයක් ගැන සිතන විට. අපේ යටිසිත නිතරම ඉතිරි 50% ගැනත් වාහන රහිත මනෝ ලෝකය ගැන සැලකිලිමත් වෙනවා. " ඇයි.., බස්, කාර් වෑන් පාරේ තියෙන්නේ " කොමියුනිස්ට් චින්තනය සාධාරණයි.. නමුත්.., තමන්ට තමාගේම කියා යම් දෙයක් තිබෙන විට ඒ පිළිබඳව ඔහු/ ඇය තුල ඇත්තේ ඒ පිළිබඳව අධිනිශ්චයක්. "මේ මමය, මගේය යන හැඟීම " හිතට ආවිට එය අන් අයට එහි හිමිකාරත්වය ප්‍රදර්ශණය කිරීමට වික්ටෝරියානු මානසිකත්වයක් උද්ගත වෙනවා.. මෙන්න මේ සිතුවිල්ල තමා වාහනයක් පමණක් නොව ඕනෑම දෙයක් ගනීමට ඉවහල් වෙනවා. සිතුවිල්ල ඒ පිළිබඳව සිතීම, චිත්ත රූප මැවීම මේ ආදිය ඔබ පිළිපැදීම තුලින් අවසන ඔබේ හිත විසින් එම අදාල දේ ඇති තැන සොයා පියමන් කරවයි.

හැමවිටම දෙවරක් සිතා බලන්න. ජීවිතේට අවශ්‍යනම් පමණක් ලඟා කරගන්න. එසේ නැතිව හේතුරහිතව ව ජීවිතයට ආලවට්ටම් දැමීමෙන් ජීවිතය නැතිනාස්ති කර නොගන්න. මක් නිසාද යත් මේ ගෙවෙන තත්පරයත් වියපත් කරන්නේ ඔබේ වටිනා ජීවිතය නිසාවෙන්.

.::Bohemian::.

8 කියවල මෙහෙම ලිව්ව ලු.:

änthräX said...

සහතික ඇත්ත. වැඩේ තියෙන්නෙ අපිට පාලනය කරගන්න බැරි කමනෙ.

said...

මාත් කැමතියි ගොඩක් සරල විදිහට ඉන්න ඒත් ඒක අනික් අයට කිව්වම කියන්නේ මට පිස්සු කියලා.

Kanishka said...

අනේ මන්ද.....

said...

උඹේ ග්‍රැෆික් නම් ෆුල් සිරා මචෝ

malee_msg said...

සේරමත් හරි කියමු කොහොම පවුල ප්‍රධාන සමාජයෙන් එන ප්‍රති‍විරෝධයෙන් ගැලවෙන්නේ? මන්දා මට නම් නිතර ඇහෙන්නේ සල්ලි ඉතිරි කරන්න ගෙවල් හදන්න වාහන ගන්න... ඉටු කරගෙන කවදාවත් සැහීමක් නැති දේවල්මයි. කොහොමද මේ දේවලින් ගැලවෙන්නේ? අපි හැමෝටම ශ්‍රීපාදේ ලග ගෙවල් හදාගෙන ඉන්න බැහැ නේ

deeps said...

මේ බ්ලොග් එක නම් මරු...කතාව ඇත්ත..මාත් එකඟයි කියන දේවලුත් එක්ක. ඒ වුනාට ඉතින් හැමෝම ඔහොම හිතන්නේ නැති කොට ප්‍රශ්න ගොඩාරියයි.

LishWish said...

@änthräX: පාලනය කරගන්න පුලුවන්. වැඩේ තියෙන්නේ අපේ හිත ඇතුළේ. මේ හැම දේටම මූලික වෙන්නේ අපේ හිත.

@ම: ඒක හරි. ගොඩාක් අය. තමන්ට මොනාහරි තේරුම් ගන්න බැරි උනාම හඳුන්වන්නේ " මුට පිස්සු" කියලා.

@Kanishka: ඔව් එහෙමත් කියන්න පුළුවනි.

@ම: බොහෝම ස්තූතියි මචන් "ම"..

@malee_msg: සමාජ ප්‍රති‍විරෝධය කියන දේ තමන්ට එෆෙක්ට් වෙන විදිය අනුව නේ ඔය කුටුම්බේ ක්‍රියා කොරනවැයි කියන්නේ.. මට හිතෙන විදියට නම් මලී අපිම හම්බ කරනවා නම්, ඒව වියදම් වෙන්නේත් අපිටම නම් "මොකටද අපි සමාජය කියන විදියට ජීවත් වෙන්නේ..?" ඇත්තම තත්ත්වෙ නම් අපේ හිත ඇතුලෙන් තාම අර කොදෙවු මානසිකත්වය පහවෙලා නෑ. ඒකයි අපි ඔය සමාජ ප්‍රති‍විරෝධයට බය.

@deeps: මරු කිව්වට තුති. අපිට හිතන විදිය වෙනස් කරන්න තනිපුද්ගල කැරැල්ලක් ගහන්න බෑනේ. ඒ නිසා මම හිතන විදියට හොඳම විදිය තමා., තමන් ගේ අදහස ප්‍රකාශ කරල, වෙනදේ බලාගේන ඉන්න එක

Prabhath Darshana said...

සම්පූර්ණ ඇත්ත. මම පූර්ණ වශෙයන් ඒකගයි. මමත් බොහොම සරල දිවියක් ගත කරන්න කැමති කෙනෙක්. ඒත් ඒ අදහස් වලට මගෙ අවට සිටින්නන්(හිත මිතුරන්ගෙ සිට සමීපතමයන් දක්වා) මට අභියෝග කරනවා. ප්‍රශ්නය තියෙන්නෙ කාගෙද කියන්න මම දන්නෙ නෑ. නමුත් මට හැගෙන විදිහට සරල ජීවිතයක් ගත කිරීම ජීවිතයට වඩාත් පහසු අර්තවත් දිවියක් වෙනවා.෴