එක් බසක් උපදින්නේ තවත් බසක් දෙකඩ වීමෙනි. මාලදිවයිනේ අද භාවිතා වෙන "සදිවෙහි බස" උපන්නේ සිංහල බස දෙකඩ වීමෙනි. එසේම සිංහල බස උපන්නේ ඊට කලින් භාවිත වුනු බසක් දෙකඩ වීමෙනි. සිංහලයේ උපතට මූලාශ්ර වූ මේ බස කුමක් ද? එය ඉන්දියාවෙහි භාවිතා වුණු එකක් ද?
සිංහල බසේ උපතට හේතු වුණු ඉන්දියානු බස නැගෙනහිර ඉන්දියාවේ භාවිත වුණු වංග බස යැයි බොහෝ වාග් විද්වත්හු අනුමාන කරති. ඊට හේතුව මහාවංශය වැනි වංශ කතා වල එන එකතරා පුවතකි. ඒ අනුව වංග රටින් පිටුවහල් කරනු ලැබූ පිරිසක් අහම්බෙන් මෙන් මේ දිවයිනට සේන්දු වූහ.