Thursday, May 14, 2026

ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්‍රප්‍රාණී 0ක වටිනාකමක් දක්වා ගිය BYJU හී අරුම පුදුම ගමන් මඟ!


කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක් වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම් වරද තියෙන්නේ කා අතේ ද? 

2011දී බැංගලෝර්හී බයිජු රවීන්ද්‍රන් සහ දිව්‍යා ගෝකුල්නාත් සමඟ ආරම්භ කල think & learn නමින් ආරම්භ කල සමාගම 2015 offline flagship learning app විදියට තම ගමන BYJU ආරම්භ කරනවා. 

මෙහෙම යනකොට 2022 දී startup එකක් විදියට වැඩිම වටිනාකමක් වාර්ථා කරපු සමාගමක් වෙන්නේ BYJU. ඩොලර් බිලියනබ්22ක වටිනාකමක් සහිතව ලොවපුරා මිලියන 150කට අධික සිසුන් ප්‍රමාණයක් ලියාපදිංචි කරගනිමින්, Sequoia Capital, Prosus, BlackRock වැනි දැවැන්ත ආයෝජකයන්ගේ අවධානය සහ මූල්‍යමය සහය ලබමින් ඉදිරියට "අධිවේගයෙන්" ගිය ගමන සුලුපටු එකක් නෙවෙයි. 

"ඉන්දියාවේ අධ්‍යාපන අධිරාජ්‍යය" විදියට විචාරකයන් හඳුන්වපු BYJU, තම සමාගමේ ප්‍රචාරණයට ශාරුක් ඛාන්, ලියොනෙල් මෙසී වගේ දැවැන්ත ප්‍රතිරූප එක්කර ගන්නකොට හැමෝම හිතුවේ මීලඟ next big thing එක BYJU තමා කියලයි.

නමුත් 2024 ඔක්තෝම්බර් වනවිට, සමාගමේ නිර්මාතෘ බයිජු රවීන්ද්‍රන් කිව්වේ තමන්ගේ සමාගම “ශූන්‍ය වටිනාකමක්” දක්වා පහතට වැටිලා කියලයි. ඒක සමාගමක ආරම්භකයෙකුට කරන්නට වෙන දෛවෝපගත ප්‍රකාශයක් කියලයි හැමෝම කිව්වේ. මූල්‍යමය අතින් BYJU කොයි තරම් අසරණ වෙලා හිටියද කිව්වොත් Google Play Store එකෙන් තමන්ගේ ඇප් එක ඉවත් කෙරුණේ ඒක හොස්ට් කරලා තිබුණ Amazon Web Services එකට වාර්ශික ගාස්තු ගෙවන්නට වත් හැකියාවක් නොතිබ්බ නිසා කියලයි කියන්නේ. තවත් වෙබ් අඩවියක වාර්තා කරන්නේ සමාගමේ සේවකයින්ට පඩි ගෙවාගන්නට නොහැකිව රවීන්ද්‍රන් සිය නිවස බැංකුවට උකස් කල බවට පුවතක්. 

BYJU කියන්නේ කුමන ආකාරයක වත් වරදක් කියන්න තිබ්බ startup එකක් නෙවෙයි. මිලියන ගණනක පරිශීලකයන් ප්‍රමාණයක් කියන්නේ මූල්‍ය ලෝකය ඇතුලේ කිසි ලෙසකින්වත් නොසලකා හරින්න පුලුවන් අංකයක් නෙවෙයි.  මේ කඩා වැටීමට හේතුව වුනේ වසර ගණනාවක් තිස්සේම කරපු අනවශ්‍ය වියදමයි. 

විචාරකයින් සහ විශ්ලේෂකයන් කියන අන්දමට ඔවුන් ඉන්දියන් රුපියලක් උපයන සෑම අවස්ථාවක ම රුපියල් 2.73ක් වියදම් කරලා තිබෙනවා. උපයන ප්‍රමාණයට වඩා 173% ක් වියදම් කරනවා නම් ඔවුන්ගේ ගමන longrun එකක් වෙන්න කොහොමටවත් ඉඩක් නැහැ. 

BYJU විසින් 2022 මූල්‍ය වර්ශය තුලදී පමණක් ඉන්දියන් රුපියල් කෝටි 4144 ප්‍රචාරණයට වියදම් කරලා තිබෙනවා, ඒක සමාගමේ මෙහෙයුම් ආදායමෙන් 69% කියලා ගණන් බලලා තිබෙනවා. 
ඉන්දියානු රුපියල් 50000 සිට 100000 දක්වා මිල ගණන් වලට තිබුණු පාඨමාලා ඉන්දියාවේ මධ්‍යම පාන්තික දෙමාපියන්ට විවිධ විකුණුම් ක්‍රම ඔස්සේ අලෙවි කලත්, ඒවායේ තිබූ තරඟකාරී මිලගණන් වලට ගෙවීම් කරන්නට ඇති හැකියාව ගැන ගැටලු මතු වුණා. 

නමුත් යම් හෙයකින් මුදල් ගෙවන්නට හැකියාවක්  නැතිවුවහොත් ඒවා BYJU සමාගම විසින් ගෙවන්නට වගකීම් භාරගත්තා. පරිශීලකයන්ට එය මනා අවස්ථාවක් වුවත. BYJU සමාගමට මේ ගෙවීම් ආකෘතිය “වතුර කාන්දු වන බාල්දියක්” වගේ වුණා. මුදල් ඉක්මනින් ගලා ආවත්, එය ඊටත් වඩා වේගයෙන් එලියට ගලා යන්නට ගත්තා.

ඒ වගේම 2017 සිට 2022 දක්වා කාලය අතරේ BYJU ඩොලර් බිලියන 2.8ක් වැය කර සමාගම් 12ක් මිලදී ගත්තා. WhiteHat Jr, Epic, Great Learning සහ Aakash Educational Services වැනි සමාගම් ඒ අතර වුණා. ඉලක්කය වූයේ “සියලු වයස්වලට, සියලු විෂයයන්ට” ගැලපෙන අධ්‍යාපන super app එකක් නිර්මාණය කිරීම.

නමුත් ප්‍රායෝගිකව එය පූර්ණ විධිමත් තත්ත්වයකට පත් කරගන්න BYJU වෙතට හැකියාවක් තිබුනේ නැහැ. අත්පත් කරගත් සමාගම්වල ගිණුම් එකට ගැලපීමට නොහැකි වුණා. 2021 මූල්‍ය වසරේ වාර්තා මාස 17ක් ප්‍රමාද වුණා. අවසානයේ හෙළි කරගත් අන්දමට 2022 මූල්‍ය වසරේ අලාභය පමණක් රුපියල් කෝටි 8,245 ලෙස වාර්තා වල සටහන් වුණා.

මේ අන්දමින් BYJU වෙත අනතුරු සංඥා වසර ගණනාවක් තිස්සේ පෙනෙවමින් තිබුනා. WhiteHat Jr කෝඩිං වලින් මිලියන ගණන් උපයන “Wolf Gupta”දරුවෙකු ගැන කියමින් දැන්වීම් පලකලා. නමුත් අවාසනාවකට ඒ ගුප්තා නම් දරුවා සත්‍ය චරිතයක් නොවෙයි. එය fictional character එකක්. 

මෙය හෙළිදරව් කලේ විචාරකයෙක්.  ඔහුට විරුද්ධව BYJU කෝටි 20ක අපහාස නඩුවක් පවරනවා. මේ අතරේ Deloitte සමාගම BYJUහී විගණක ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ප්‍රධාන ආයෝජක මණ්ඩල සාමාජිකයන්ද ක්‍රමිකව සමාගමෙන් ඉවත්වෙන්න ගන්නවා. ඔවුන් පවසන්නේ සමාගමේ පාලනය හා එහි තිබියයුතු විනිවිදභාවය සම්පූර්ණයෙන් නොසලකා හැර ඇති බව.

මීට කලින් 2021දී ඩොලර් මිලියන 533ක් අතුරුදන් වූ බව හෙළි වෙනවා. ණය දායකයන් චෝදනා කළේ එම මුදල් Florida හි සැකසහිත hedge fund එකකට මාරු කර ඇති බව. පසු අධිකරණ සොයාගැනීම් සහ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඒ මුදල් නීත්‍යානුකූල වාණිජමය අරමුණු සඳහා භාවිතා කිරීම වෙනුවට BYJU Raveendran සහ ඔහුගේ අනුබද්ධ සමාගම් වෙත "ආපසු" ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත්, BYJUහී කඩාවැටෙන අධිරාජ්‍යයෙන් බේරී ගියේ එම ඔවුන් මිලදීගත් Aakash Educational Services සමාගම පමණයි. ඔවුන් නිවැරදි මූල්‍ය උපක්‍රම භාවිත කරමින් ලාභදායීව දිගටම ක්‍රියාත්මක වුණා. JEE සහ NEET වැනි විභාග සඳහා සිසුන් පුහුණු කරමින්, අවසානයේ සැබෑ මුදල් ප්‍රවාහයක් නිර්මාණය කළේ එම සාම්ප්‍රදායික offline coaching model එක විසිනුයි. අවසානයේ BYJU’S හි කොටස් හිමිකම 5%ටත් අඩු බව හෙලිවෙනවා.

විසල් ගසක්ව ඉතා කෙටි කලකින් හැදී වැඩුනු BYJ. ඒ වේගයෙන් ම  කඩා වැටීමෙන් ලෝකයට ලැබුණු විශාලම පාඩම වන්නේ,  “valuation” යනු “value” නොවන බවයි. ආයතනයක් ගොඩනඟන්නේ අසීමිත වර්ධනය නොව, විනය, විනිවිදභාවය සහ තිරසාර ව්‍යාපාරික ආකෘතියක් විසිනුයි.  

වර්ධනය පාලනයකින් තොරව ගිය විට එසේවෙන සමාගම සාර්ථක එකක් බවට පත්වන්නේ ඉතා අඩුවෙන්, ඊට කලින් ඒ සීමාරහිත පාලනය කරගත නොහැකි වර්ධනය සමාගම් යාන්ත්‍රණය ඇතුලාන්තයේ ඇති දුර්වලතා නිරාවරණය කරනවා.! 

පින්තූරය : Reddit. 
මූලාශ්‍ර : 
Web: DNA India, CBNC, Darpansaxena, Sky news.

Youtube : Business today, Ani podcasts with Smita Prakash clips, Unravelled by shanker, Powerup with pradeep.

Reddit: r/StartupIndia

Saturday, December 13, 2025

කාරණා දෙකයි!


මේක කියවලා තම තමන්ටත් මේ ගතිගුණ තියෙනවා නම් ටිපර් පාක් කරන්න යන්න හෝ කෝල් අරන් කිරි කොරහ නටන්න වගේ දේවල් වලට යන්න එපා. ඒවා හදාගන්ඩ බලන්ඩ. මොකද එහෙම රියැක්ශන් දෙන එක ඒක හරි වාතයි. මොකද මේක ලිව්වේ ඔහේ ඉන්න ගමන් ඇඟිලි වල හිරි යන්නත් එක්ක!
හරි ඩිස්ක්ලේමරේ ඉවරයි. කතාවට එමු.

කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් තම කාලය මහන්සිය හෝ කුමන හෝ කාරණාවක් වැය කරන්නේ ඒ මනුස්සයා අනෙකා ගැන තියෙන විශ්වාසය හින්දා. ඒක නියතයක්. ඒ විශ්වාසය කියන වචනය ඇතුලේ තමන් සේවය කරන තැනින් තමන්ට ලබාදෙන වේතනයට සාධාරණයක් කිරීමේ ඉඳන් තමන්ගේ කසාද ගෑණිට මිනිහට සැලකීම වෙනකල් ම ඔය විශ්වාසය කියන කාරණය විභේදනය වෙනවා. ඒ වගේම අපි අවුරුදු පහෙන් පහට පැවතෙන මැතිවරණයකදී පවා අපේ කතිරය ලකුණු කරන්නේ ඔය කියාපු අපි වැඩියෙන්ම "විශ්වාස" කරන මනුස්සයාගේ ප්‍රතිපත්ති කට්ටලේ ගැන යම් පැහැදීමක් තියෙන නිසා තමයි. 

දැන් තමා ඊගාව කොටස!! බැරි වෙලා හරි අපි අර උඩ කිව්ව අපි පට්ට විශ්වාසේ තියලා අපේ කාලය මුදල් සහ ආදරය හෝ අපේ අනාගතය වෙනුවෙන් අපි investment එකක් විදියට අපි මැතිවරණයකදි අපි ලකුණු කරපු කතිරෙට පාත්‍ර වර්ගයා වුන එකා/එකී, අපේ ඒ විශ්වාසය බින්දොත් මොකද වෙන්නේ? කුජීතයි නේද පිංවත? 
අන්න එහෙම සමාජයක් විදියට පවතින ආණ්ඩුව ගැන විශ්වාසය නැති වුන අවස්තාවක් තමා ප්‍රෙන්ඩ්ස්, අරගලේ පටන් අරන් පැවති ආණ්ඩුව හොම්බෙන් යැව්වේ. සමහර අවස්තා තියෙනවා දශකයක වෙනස්කම් සතියෙන් වෙන සහ සතියක වෙනසක් වත් දශකයක් තුල නොවෙන. නිකමට හිතන්නකෝ ඔහොම විශ්වාසභංගයක් කෙනෙක් තමන්ගේ පාට්නර් කෙනෙක් ගැන වුනොත් වෙන අගතිය?

එහෙම වුණාම අපි ඒ මනුස්සයා හෝ සමාජේ අපි එක්කලා කොච්චර සමීපව කටයුතු කලත්, මොන වගේ දේවල් කිව්වත්, මොන ආකාරේ පොරොන්දු දුන්නත් ආපහු ඌව විශ්වාස කරන්ඩ අපේ හිත නැවෙන්නේ නෑ.
එහෙම නැවෙන එවුන් ඉන්නවා උන් හරිම දීනයි. උන් එහෙම කරන්නේ පලිගැනීමේ චේතනාවෙන් හෝ වෙන කරන්න දෙයක් නැති කමට. මම දන්න අපේ හිතවතෙක් ඉන්නවා පොර සාමාන්‍යයෙන් කිසි දෙයක් සම්බන්ධයෙන් ගණන් ගැනීමක් කරන්නේ නෑ. කොටින්ම පොර පොරගේ ලෝකේ. බැරි වෙලාවත් පොරට කෙනෙක්ව එපා වෙනවා නම් හෝ එහෙම වීගෙන යනවා නම් පොර පණ ඇරලා ඒ අදාල මනුස්සයට සලකනවා. ඌව තමන් ගැන විස්වාස කරන තරමට මනසේ උඩටම ගෙනල්ල ගෙනල්ල එක පාරටම සියලුම සම්බන්ධතා ඇසිල්ලකින් අත ඇරලා දාලා හොයන්නත් බැරිවෙන්න අතුරුදන් වෙනවා. ඉතින් අර අනික් පොර ජීවිත කාලයක් ම ඉන්නේ පොලේ ගහලා වගේ මානසිකත්වයෙන් කොච්චර කල්පනා කලත් පොරට හේතුවක් හොයාගන්න බෑ. 

අපි ආපහු විශ්වාසය බින්දම මොකද වෙන්නේ කියන තැනට ආවොත්, අපි ගොඩක් වෙලාවට ඒ පුද්ගලයා අපි එක්කම ජීවත් උනත් අපි පොරව මනසින් ඉවත් කරලා ජීවත් වෙන්න පටන් ගන්නවා. තමන් කෙනෙක්ට වෛර කරනවට වඩා ඔහුව හිතෙන් අතෑරලා ජීවත් වෙන්න පුරුදු උනාම හරි ලේසීයි. මොකටද හිතේ කුණු වෛරය වගේ දේවල් පුරවගෙන අපහසුවෙන් ඉන්නේ. ජීව්තේ ඇතුලේදී අපිට ඔහුට/ ඇයට නොදැනෙන්න ඔහුව අතෑරලා ජීවත් වෙන්න පුලුවන්. 

දකින් දකින තැන බැණ අඬගහගන්නවා වගේ කැලේ නීතිය මනුස්ස ලෝකේ ක්‍රියාත්මක කරන්න යනවට වඩා අර වැඩේ පට්ට එෆෙක්ටිව්. හැමෝම සතුටින්. 

ඔය අපි ඉස්සෙල්ලා කතාකරපු වර්ගයේ මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ තමන් තමා විශ්වයේ කේන්ද්‍රය [center of the universe] ග්‍රහලෝක පවා කැරකෙන්නේ තමන්ගේ වටේය කියලා. ඔහොම හිතන මිනිස්සුන්ට තමන්ගේ සිතුවිලි වලින් හදාගන්නා අර EGO ඔටුන්න වැටෙන තැනක් එනවා. අන්න එදාට තමා පට්ට අමාරු වෙන්නේ. මොකද බබ්ල් ලයිෆ් එක කියන්නේ හරි පුදුම දෙයක්. බුබුල ඇතුලේ ඉන්න තාක්කල් තමන්ට පුලුවන් බොහෝම සතුටින් තමන්ට රිසි හිතුවක්කාර කම් කරගෙන ඉන්න, ඒත් අර කියාපු comfort zone එකෙන් එලියට ආවට පස්සේ වෙන්න දියෙන් ගොඩදාපු මාලුවට වෙච්ච දේ. 

මීනිස්සු තමන් කියන කියන දේට එකඟ වෙන්නේ එක්කො කපටිකමට, එක්කෝ තමන් තව කෙනෙක්ට හිංසාවක් වාචිකව/මානසිකව/ශාරිරිකව කරයි කියන බයට, එහෙමත් නැත්නම් මූ මංපොර ජාතකේ ගහලා ඒ මත්තෙම නැහිලා මැරිලා ගියදෙන් කියලා හිතාගෙන වෙන්න පුලුවන්. ඒ නිසා මිනිහෙක් විදියට අපි කවුරු කවුරුත් පොඩ්ඩක් සංවේදී වෙන්න පුලුවන්නම් ගොඩාක් ප්‍රශ්ණ විසඳගන්න පහසුවේවි. 

ඒ නිසා හිනාවෙන්න එපා විපතක්නේ වෙලා තියෙන්නේ, අනික මේක අපිලගේ රට, අපිලගේ ජාතිය, අම්..see more

Wednesday, December 10, 2025

ශිෂ්ටාචාරයක පළමු සලකුණ

මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ් මහත්මිය


වසර කිහිපයකට පෙර මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ්ගෙන් ශිෂ්‍යාවක් විසින් සංස්කෘතියක තුලදී "ශිෂ්ටාචාරයක පළමු ලකුණ ලෙස සලකන්නේ කුමක්ද?" යි විමසා ඇත. එම ශිෂ්‍යයා ඇත්ත වශයෙන් ම මීඩ්ගෙන් බලාපොරොත්තු වූයේ ඈ මාළු කොකු හෝ මැටි මුට්ටි හෝ ඇඹරුම් ගල් ගැන කතා කරනු ඇත කියා යි.

නමුත් ඒ වෙනුවට මීඩ් පවසා සිටියේ සංස්කෘතියක් තුලදී "දියුණුවෙමින්" පවතින ශිෂ්ටාචාරයක පළමු සලකුණ" ලෙස "කැඩී බිඳී ගොස් පසුව සුව වූ කලවා අස්ථියක් (femur) බවයි.

වැඩි දුරටත් තම මතයේ අරුත පැහැදිලි කල මීඩ්,
"සත්ව රාජධානියේ දී අනතුරකින් ඔබේ කකුල කැඩී ගියහොත් ඔබට මිය යන්නට ඇති අවස්ථා ඉතා ඉහළයි. ඒ වගේම ඔබට අනතුරකින් පලා යාමට, දිය ලබා ගැනීම සඳහා ගඟකට යාමට හෝ ආහාර සඳහා දඩයම් කිරීමට නොහැකි වෙනවා. එහි ප්‍රථිඵලය වන්නේ තවත් සතෙකුට ඔබව ගොදුරක් වීමයි. කිසිම සතෙක්ගේ අස්ථියක් කැඩී නැවත සුව වෙනතුරු ජීවත්ව ඉඳලා තියෙනවා කියලා කොහේවත් සඳහන් වෙලා නෑ."

යමෙක් වැටුණු තැනැත්තා සමඟ සිටීමට කාලය ගත කර, තුවාලය බැඳ, පුද්ගලයා ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස්, සුවය ලැබීමෙන් පුද්ගලයාට සත්කාර කර ඔහුගේ බිඳුණු කලවාස්ථිය සුව වූ බවට සාක්ෂියක්.

"ඒ කියන්නේ දියුණුවට පත්වන ශිෂ්ටාචාරයක ලක්ෂණයක්. දුෂ්කරතා මැද වෙනත් කෙනෙකුට උපකාර කිරීමම දියුණු ශිෂ්ටාචාරයක් ආරම්භ වන තැනයි" මීඩ් සිය සිසුන්‍ වෙත පවසා සිටියා. 

Ira Byock විසින් ලියන ලද මුල් සටහනේ පරිවර්තනයකි. 
22/08/2024 රාත්‍රීය.

Thursday, December 4, 2025

සුනේත්‍රාගේ "කෙටි පණිවිඩය හා දිග කතා"



කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි..!    
සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරගත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය පාලම් ගෙදර, ගෙදර බුදුන්ගේ රහස, චීන මනාලිය, දෙවෙනි කසාදය, හීල්ලීම, දඹදිව වන්දනාව, කෙටි පණිවිඩය ආදී වශයෙන් එකකට එකක් වෙනස් කතා හතකින් අපහමුවට එයි..!
අතීතයත් අනාගතයත් අතරමැද පිහිටි වර්ථමානයක් නොවන තැනක හිඳ කියන කතාව අපේ වන්නට යන්නේ ඉතා සුළු වේලාවකි.
සිය පෙරවදන තුලින් සුනේත්‍රා පොත පිළිබඳව කියනා ආකාරයට ඉහත කී කතා හතෙන් හතරක් සිය ඉංග්‍රීසි කෙටි කතා පොතට ඇදුලත් වූ ඒවා ය. කතාවක් නැවත නැවත ලිවීමේදී කතාව වඩාත් ඔපමට්ටම් වීම ගැන සුනේත්‍රා දරන්නේ මේ වැනි අදහසකි ඒ දෙවෙනි කසාදය කෙටි කතාව ඇසුරිනි..!

" දෙවෙනි කසාදය" මුලින්ම මා ලිව්වේ අනුල ද සිල්වා ගේ ඉල්ලීමකට වනිතා විත්ති සඟරාව සඳහාය. එය නැවත් ඉංග්‍රීසියෙන් ලියුවේ මුල් කතාව ළඟ නැතිව බෙයිජීනයේ සිටිය දීය. දැන් එය නැවත් සිංහලයෙන් ලියනාවිට තවත් වෙනස් කම් සිදුවී තිබේ. තමාගේ කතා තමා විසින් ම භාෂා දෙකකින් ලිවීමේ වාසිය, ඒසේ නිදහසේ කතාව එහා මෙහා කරන්නට හැකි වීම ය"

කියූ ආකාරයට ම ඇය කතාව තුල එහාමෙහා ගොස් අපට කතා තුල පවතින හැරවුම් ලක්ෂයන් ගැන මෙසේ ඉඟිකරයි.

පාලම් ගෙදර
"අනේ.. සර්... අපි ඉස්පිරිතාලෙට යනකල් ම එයාට සිහිය තිබුණා. කිරි දරුවෙක් හේ මං උකුලේ තියාන ගියේ. ඒයා අන්තිමට කිව්වේ "දයෝ මොනා හරි වුනොත් මගේ පොත්ටික ඩියාරෝ මහත්තයට දෙන්න ඕන" කියලා. සර්නං පොත් ටික හොඳට බලාගනියි කියලා කීවා. අනේ අප්පේ අච්ච්‍රයි කීවේ. ඉස්පිරිතාලේ ගාවදී දෙපාරක් ගැස්සුනා වගේ වුණා. ඇස් වල කඳුලු. මොනවද කියන්න වාගේ කට ඇරියා . වචන පිට වුනේ නෑ. එච්චරයි."

ගෙදර බුදුන්ගේ රහස
"ඕගොල්ලෝ කැමති කෙනෙක් බැඳ ගන්න. ඒ වුනාට මට වුණා වගේ ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ. ඒ හින්ද තමන්ට තනියන් වුනත් ජීවිතේ ගැට ගහගන්න පුලුවන් දෙයක් ඉගෙන ගන්න මිසක් කසාදෙට හදිස්සි වෙන්න එපා. ඕනම කෙනෙකුට නොහිතන නොපතන දේවල් වලට මූණ දෙන්න වෙනවා. හමුදාවේ කෙනෙක්ගේ ජීවිත කොයි වෙලාවෙද දන්නේ නැහැනේ. ඒ හන්දා තමන්ට ඊට වඩා හයියක් තියෙන්නේ ඕනේ. හමුදාවකට පොලීසියකට වඩා හිතේ හයියක් තියෙන්න ඕනේ ගෑණියෙකුට."

චීන මනාලිය
" එහෙ මිනිස්සු කොකා කෝලා බොනවද? " අප්පච්චී නළල රැළිකරගෙන ඇහුවා. මාසෙකට විතර කලින් මැයි දිනේට යනකොට අප්පච්චිලා මැයි රැළියට බැනර් එකක් අරගෙන ගියානේ බහු ජාතික බූවල්ලෝ පලවා හරිවු කියලා.
"චීනේ ලෝක වෙළඳ සංවිධානේට එකතු වුණා. නිදහස් වෙළඳාම තමයි ඕනේ කියන්නේ" නාමලී අපි කවුරුවත් බලාපොරොත්තු නො වුණු උත්තරයක් දුන්නා.
"ඒ කියන්නේ ඒ ගොල්ලෝ ඇමරිකාව එක්ක යාලුද? විශ්ව විද්‍යාලේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න අපේ ලොකු අම්ම්ගේ දූ සචී ඇහුවා..!
" ඔව්..ඇමෙරිකාව තමා අපේ හොඳම ගනුදෙණුකාරයා..!"
"අපි වෙන දෙයක් කතා කරමු ඔව්වා සේරම කතා කරන්න තව කොච්චර දවස් තියෙනවද?" ලොක්කා වහාම පනලා කතාව නුහුරට යන එක පාලනය කලා.

දෙවෙනි කසාදේ
" අප්පච්චී බැඳලා තියෙන්නේ ළමයෙක් හම්බවෙච්චි සිරියාවතීලු. හරමානිස් ලොකු අක්කට ෆෝන් කරලා කිව්වලු දැං සේරම ඉවරයි කියලා. හරමානිස් කියලා තියෙනවා ඒයා කියපු බවක් නං අඟවන්න එපා කියලා. ඒ මිනිහා පවුලේ කෙනෙක් වාගේ නේ හැම වඩක් ම කරගෙන වැටිලා ඉන්නේ. ලොකු අක්කා එවෙලෙම පිටත් වෙලා මෙන්න සිරියාවතී ලොක්කී වගේ අම්මගේ පොඩි හාන්සී පුටුවේ දිගාවෙලා ඔය මොකද්ද මල් පොතක් කියවනවලු. ඒ ගෑනිගේ ළමයා අපේ අර පරණ ලී අස්සයා පැද පැද හිටියලු."
මට තේරුම් ගන්න බැරු වුනේ ලී අස්සයයි, මල් පොතයි කතාවට සම්බඳවෙන්නේ කොහොමද කියලයි.

හීල්ලීම අනේ මම හිතුවේ ඒ දෙන්න කසාද බඳියි කියලයි. ඒ වුනාට දහම් ට පුන්‍යා වගේම තව පෙම්වතියෝ හිටියාලු. ඒ වුනාට අග මෙහෙසිය පුන්‍යා කියලා තමාලු කියන්නේ.
"මොන කපටියෙක් ද ? ඔයට ආත්ම ගෞරවයක් නැද්ද? ඇයි ඔය මිනිහගේ දහම් පණිවිඩ අහන්නේ ? අනේ මං වගේ නං ඕකා ඉන්න පැත්ත බලාගෙන බත් කන්නේ වත් නෑ." කියලා මං බැන්නා.

දඹදිව වන්දනාව
"මං ඔය බණක් දහමක් අහනවා මිස එක එකීගේ රෙදි බලන්න යන එකක් යැයි ළමයෝ"
"මේං වැන්දා ලොකම්මේ" ඇට්ටරයා ලීලාවතීට දෑත් එක්කලේ හිස ද පහත් කරමිනි.
"උඹ පළයං මම අයියලාට කියලා බලන්නං"
"අයියලාගේ සපෝට්ටෙකක් ලැබුණේ නැත්තං ඉතිං හිඟන්නෙක් වගේ පැදුරු කෑල්ලක ඔතලා ආණ්ඩුවේ කුණු ටැට්ටරෙං වලට පාත් කරන්නයි වෙන්නේ. මොකෝ මෑන් අපිට කියලත් කරපු දෙයක් නැහැනේ."

කෙටි පණිවිඩය
”චාල්ස් මට හිතෙන්නේ ඒගොල්ලෝ රුපියල් දහ දාහක විතර පඩියක් ගන්න හින්දම නෙවී කියලා ඔහොම හිනාවෙලා ඉන්නේ " මා යලිත් කටහඬ අවදිකලේ පරන්තන් හන්දියේ කඩ පසුවූ විට දිස්වෙන තල්ගසක් වටකොට ගත් බෝගස පසුවන විටය.
"ඔව් රස්සාව අමාරු උනත් සටන් විරාමයක සැනසීමක් ඇතිනේ"
මෙසේ සුනේත්‍රා හදවතට කියනා කතාව හඳුණාගන්න. 




පසු සටහන්..,
කෙටිපණිවිඩය සහ දිග කතා
කතුවරිය : සුනේත්‍රා රාජකරුණානායක
ISBN 955-573-463-1
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
ප්‍රථම මුද්‍රණය : 2006
දෙවන මුද්‍රණය : 2008
මිල: රු.275.00

Tuesday, November 11, 2025

ඒ මගේ පුතා!

සිසිලනය කරන ලද වීදූරු වලින් වටවී ගත් එහා මෙහා පෙනෙනා කාමර තුල තිබෙන නිසල විවිධ ඉරියව් වලින් හැඩ ගස්වා තිබූ ප්‍රාණ නිරුද්ධ සිරුරු ඇති ලාස් වේගාස් හී ව්‍යුහාත්මක සිරුරු ආගාරයක් තුල කිම් එරික් ස්මිත් මහත්මිය ඇවිදිමින් සිටියේ තව මොහොතකින් තමන්ට වන්නට යන ඛේදවාචකය ගැන කිසිදු අදහසකින් තොරව ය. එක වරම ඈ එක් වීදුරු කූඩුවක් අසල නැවතිණි. හඳුනා ගැනීමට නොහැකි සිරුරු වලින් වට වී ඇති මේ සිරුරු ප්‍රදර්ශනාගාරයේ තමා ඉදිරියේ ඇති සිරුර තමන්ට වඩා හුරුපුරුදු බවක් දැනෙන වග ස්මිත් මහත්මියගේ සිත ඈ හට පැවසුවා ය. 

ලේ කිරි කර පොවා උස්මහත් කල බව නිසාදෝ එක වරම ඇගේ සිතට ක්ශණයකින් එහා මෙහා වී තිබූ තිත් එකිනෙක යාවෙන සෙයක් දැනෙන්නට විය. තමා ඉදිරියේ නිරුවත් කර හම ඉවත්කර ස්නායු කපාට ලිඟු මනාව ප්‍රදර්ශනයක් කරමින් සිරුරේ නහර අතුනු බහන් කිසිවක ජීවය නොමැති නමුදු හදවත තුලින් අම්මා කියා නිහඬව කෑගසන්නේ අන් කිසිවෙකු නොවන වග ඇයට පසක් විය. 

"ඒ මගේ පුතා" 

දිගු කලක් තිස්සේ තමන් සොයමින් සිටි අතුරුදන් වී යැයි පොලීසිය පවා සැක කල සිය පුතු වන "ක්‍රිස්ටෝපර් ටෝඩ් එරික් (Christopher Todd Erick)ගේ සිරුර එහි විය. සයනයිඩ් ශරීර ගත වීමකින් මරණය සිදු වූ සිය පුතුගේ සිරුර කෞතුකාගාරයක් තුලින් මතුවීම ස්මිත් මහත්මිය පමණක් නොව එවකට මුලු සමාජය තුලම පාහේ කැළඹිල්ලක් ඇති කිරීමට සමත් කාරණාවක් විය. වසර 2012 නොවැම්බර් 10 වන දින සිය මිත්තනියගේ නිවසේදී ඝාතනයට ලක් වන ක්‍රිස්ගේ සිරුර මෙසේ මවගේ අනුදැනුමකින් තොරව කෞතුකාගාරයක් වෙත භාර දී ඇත්තේ අන් කිසිවෙකු නොව ඔහුගේ ම පියා විසින් බව ස්මිත් මහත්මිය පවසා සිටියි. එය පූර්ණ වශයෙන්ම අදාල මල්ශාලාව සහ පියා මැදිහත් වීමෙන් කරවූ එකක් වග ඇය මුහුණුපොතේ තබා තිබෙන සටහන් සහ දමා ඇති කොමෙන්ටු වලින් පෙන්වා දෙයි. 


නමුත් පෙරදී ඇය විසින් කල ප්‍රකාශයට විරුද්ධව කෞතුකාගාරය කියා සිටියේ මෙම සිරුරු සියල්ලම පාහේ නීත්‍යානුකූලව පාර්ශවකරුවන්ගේ පූර්ණ එකඟතාවය මත සිර්රු ප්‍රදර්ශනාගාරය වෙත ලබා දුන් ඒවා බවයි. මෙයට එදිරිව ස්මිත් මහත්මිය ඉල්ලා සීටියේ ඉතාම සරළ සහ නීත්‍යානුකූලව පුද්ගල අනන්න්‍යතාවක් හදුණාගැනීමේදී ඉතාමත් සාර්ථක භාවිතාවක් ලෙසට ප්‍රකට එක් පරීක්ෂණයක් පමණි. එය DNA පරීක්ෂණයක් විය.

ඇයගේ පුතා කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී නැති බවක් ඔහු විද්‍යා සංදර්ශනයේ වීදුරු කූඩුව තුල සිටින්නේ සාක්ෂි ගොන්නක් පිරිවරා බව ස්මිත් මහත්මිය තේරුම් ගත්තා ය. ක්‍රිස්ටෝපර්ගේ මේ නිහඬ යුද්ධය ව්‍යුහ විද්‍යාවට එරෙහිව නොව සිරුරක් කාට අයිතිදැයි සොයා නොබලා ප්‍රදර්ශනයක් කිරිමට හා එය පිටුපස ඇති අභිරහස නොවිසදීමට එරෙහිව ය. 



කෙසේ නමුදු මෙම නඩුව වැළැලී තිබු බිය කරළියට ගෙනෙන්නට සමත් විය. ඇත්තටම මෙම ප්‍රදර්ශනයට තබා ඇති සිරුරු නියමිත අයුරින් ප්‍රදානය කල එවා නොවනවා නම්, මේ සිරුරු කාලය විසින් වැළලී ගිය මළගිය ඇත්තන්ගේ සාක්ෂි වසන් කර පරිත්‍යාග කල එවා නම්? ඒ වාගේම මෙම "පරිත්‍යාග කරන ලද" සිරුරු කීයක් නම් ඇත්ත වශයෙන්ම හිමිකම් නොකියන ලද, යුක්තියක් දැක නොමැති වින්දිතයින් හෝ කැමැත්තෙන් තොරව ප්‍රදර්ශනයක් තුල සිරවී සිටින අතුරුදන් වූ ආත්මයන් නම්? සිරුරු වටා ප්‍රබන්ධයන් තිබිය හැකිය. නමුත් ප්‍රබන්ධය තුලට මරණයේ බියකරු බව සත්‍ය වශයෙන් පැමිණි විට ප්‍රබන්ධය ප්‍රබන්ධයක් වීම නවතී. මක්නිසාද යත් මවක් සිසිලනය කල වීදුරු කුටියක තබා ඇති මළ සිරුරු අතර තම පුතා හඳුනා ගන්නා විට කලාව කලාවක් වීම නතර වේ. රුදුරු බියකරු සිහිනය ආරම්භ වේ..

ප.ලි: පහතින් ඇති සබැඳි වලට ඔබේ ඇස යොමන්න. එවායින් ඔබ මේ කෙටි සටහනින් නොකියවූ බොහෝ දේ දැනගන්නට ලැබෙනු ඇත.

https://www.facebook.com/photo/?fbid=10235378473824042&set=a.2639019096208 
https://www.facebook.com/kim.ericksmith
https://x.com/kimericksmith 
https://www.change.org/p/demand-dna-test-of-the-thinker-model-at-real-bodies-the-exhibition-balley-s-chris-erick 


Sunday, March 24, 2013

වොර්සෝ හිදී කලාකරුවෙකු විසින් දණ ගැස්වූ හිට්ලර්ගේ ආත්මය.

කලාකරුවා වනාහි මනුෂ්‍යයෙකි.., සිය දේශපාලන අයිතිය වෙනුවෙන් සටන් වදින දේශපාලනික සත්වයෙකි. හෙතෙම සිය භාව ප්‍රකාශනය කරන්නේ වදනට වඩා සහසකුත් වදනකට වඩා බලවත් වන කලා නිර්මාණයකිනි. වර්තමානයේ කලාකරුවාගේ හිස් අත්පා විවිධාකාරයේ රෙජිමයන්ට යටත් ව දඬු කඳේ ගසා තැබුවත්, වර්තමානයේ ආත්ම ප්‍රකාශනයන්ට ගරු කරන්නන්ගේ දේශයක් වන ජර්මනියේ වොර්සෝ නැමැති යුදෙව් ජනාවාසය තුල එක්තරා කලාකරුවෙක් හිට්ලර්ගේ දණ ගසාගෙන සිටින ඉරියව්වෙන් සිටින මූර්තියක් තැන්පත් කිරීම තුලින් සිය ප්‍රකාශනය ඉදිරිපත් කර ඇත. 

Thursday, January 10, 2013

සචිත්‍ර සමඟ දිදුලන දුහුවිල්ල

     කාලෙකට පස්සේ පහුගිය දවසක සරසවි පොත්හලට ගොඩ වැදෙන්න අවස්ථාවක් ලැබුණා. ඉස්සර රොටරියේ සන්නස්ගලගේ සිංහල පන්තියට යන අපි පන්ති ඉවර වෙලා ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටලා ඇති මේ අපූරු පොත් කඩයට හරි, ඉන් එහා පැත්තේ ඒ කාලේ තමන්ගේ අංකුර ප්‍රකාශන කර්ත්‍ව්‍ය ආරම්භ කරපු ජානක ඉනිමංකඩගේ විදර්ශන පොත් ගෙදරට යන්න හුරු වෙලා හිටියා. කොහොම හරි ඒකට යන අතරමඟදී මගේ පාසල් මිතුරෙක් වෙන සචිත්‍රව මට හමුවෙන්න ලබුණා. ඉස්සර කලා අංශයේදී අපි එක්කලා එකට අධ්‍යයන කටයුතු කල මේ අපූරු මනුස්සයා මේ වෙනකොට ලේක් හවුස් කතෘ මණ්ඩල සාමාජිකයෙක් විදියට කටයුතු කරනවා. ඔහුගේ මේ හමුවීමේන් පසුව මම පොත් හලට ගොඩවෙනකොට ම පොත්හල දොරටුව අසල තබා තිබුණු සරසවි පොත් හලේ වැඩියෙන්ම අලෙවි වන පොත් දහය වෙතට මගේ නෙත යොමු වුණා.., එහි හත් වෙත් තැන මස් ඉඹුලගේ "සෙංකොට්ටං" වගේම අට වෙනි තැන ලබා තිබුණේ මගේ මිතුරා සචිත්‍රගේ "දිදුලන දුහුවිල්ල" නවකතාවටයි. සරසවි ප්‍රකාශනයක් විදියට කල එළි බැස ඇති මේ පොත මිලදී ගන්නට මා වැඩියෙන්ම  යොමුවෙන්නට ඇත්තේ පොතේ පසු කවරයේ වූ කතානායකයා වූ සුමේධ තෙරුණුවන් පිළිබඳ වූ පසු සටහනටයි..