Saturday, August 8, 2009

විවේක නැති තරුණ හිතට බෙහෙත් තෙල් බිංදුවක්...!

123

"පහුගිය දවස් වල තිබ්බ කරදර නිසා ඔලුව නිකං යකාගේ කම්මල වගේ. හිතට කිසිම නිදහසක් නෑ. අනේ මංදා. කොහොමට හිටපු කොල්ලෙක්ද? අද මෙහෙම පිස්සෙක් වගේ කල්පනා කරන්නේ... "

මෙහෙම එක පාරටම කිව්වාම, ඔබ බය වෙන්න එපා. මම මේ කියන්න යන්නේ අද කාලේ හැම තරුණයෙකුටම වාගේ තියෙන ගැටලු ටිකක් ගැන. ඒ තමා හිතට කිසිම දේකින් නිදහසක් නොමැතිවීම. මාත් ඇතුලුව. ඇඟිළි ගනින්න ඇඟිළි තුඩු දහයක් තිබ්බත්. සියවරක් ගැන්නත් ගෙවෙන්නෙ නැති තව අවධානය යොමුකළ යුතු අංශ මුලට ආවත් ඒ අතරිනුත් මුලටම එන එකක් තමා මේ ප්‍රෂ්ණය. හරි.., අපි දැන් තියෙන පුංචිම තැනින් පටන් ගමු.

ඇයි අපිට මුදල් අවශ්‍යය...?
"හරියට හරි.....!  හිතනවා නේද ඇයි මුදල් අපේ ජීවිතේ ට ඕනි කියලා..! තව හිතන්න...! මේ මොහොතේ ඔබ හිතන දේ තුල පෙර නොතිබූ අවශ්‍යතාවන් පෙනී.., ඇයි අපිට මුදල ඇත්තට ම අවශ්‍යය කියා පෙනෙන්නට ගනීවි. "
ඉතාම සරළව කිව්වොත් අපිට සල්ලි උවමනා වෙන්නේ "ජීවත් වෙන්න". ඊට පස්සෙ තමා අනෙක් උවමනා හා අවශ්‍යතා ඔතනට ආදේශවන්න පටන් ගන්නේ.
"ඇඳුම් පැළඳුම්, යානවාහන, කෙල්ලෝ" මේ ආදී එකී නොකී උපයෝගිතාවන් අපේ ජීවිතය අවශ්‍ය වෙන්නේ ඇයි..? ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමට ඉහත කී අයිතමය [මුදල්] දැඩිලෙස අවශ්‍ය බව.., අපටත් හොරා අපේ යටි හිත අදහන්නට පටන් ගෙන තියෙන නිසයි.

ඉන් අපට මිදෙන්න බැරිද?
ඇයි බැරි..? පුළුවන්.. යම් තරමක ට. නිදසුනක් විදියට අපිට වඩා [සමහර] පැවදි උතුමෙකුට මුදල් වැයවෙනවා අඩුයි. ඒ උන්වහන්සේලා ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගෙන ඇත්තේ එක්තරා රාමුවක් ඇතුලත නිසයි. මේ ලියමන ලියන මාහටත් ඒ උක්ත උපයෝගිතාවන් ගෙන් මිදෙන්න බැරි උනත් මම හොඳට ම දන්නවා ඉන් මිදුනු ජීවිතය ඉතා නිදහස් වග.

චිත්‍ර ශිල්පීන් යුවළක්
මීට කලකට පෙර මට හමුවූවා මුදල් වලට යට නොවී ජීවිතය ස්වයං පෝශිත කරගත් චිත්‍ර ශිල්පීන් යුවලක්. ඔවුන්ගේ ජීවිතය ඉතා නිදහස්. ඔවුන් දෙපළත්, දරු දෙදෙනාත් ජීවත් වන්නේ., ශ්‍රී පාද හිමය [වනය] ආසන්නයට වන්නට නිවසක් සාදාගෙන. ජීවිතය ගෙනයන ඔවුන් දෙපල ට ඇත්තේ ඉතාමත් අල්පේඡ්ඡ දිවිපෙවෙතක්. ඒ වුනත් නව්‍ය තාක්ෂණය හා තොරතුරු ලබා ගැනීම අතින් ඔවුන් අපටත් වඩා යාවත්කාලීන යැයි කියන්නට පුලුවන්. අනෙක් වැදගත් ම දේ තමා ඉහත පවසන්නට යෙදුනු දෙපළ 100% ආදායම ලබාගන්නේ චිත්‍ර හා මූර්ති නිර්මාණකරණයෙන් වීම. නිර්මාණයක් දෙකක් කර ඔවුන් ලබාගන්නා මුදල් ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිතා කර ඉන් සියලු අවශ්‍යතා ඉටුකර ගන්නවා.

එමනිසා අතේ තියෙන මුදල "සම්මා සතීයෙන්" [යහපත් සිහිබුද්ධියෙන්] යුතුව වියපැහැදම් කරනවා නම් මේ ගැටළු වලට මූණ පාන්නට වන්නේ නෑ. එමනිසා අප මුදල් වල වහලුන් නොවී මුදල් අපගේ වහලුන් කරගත යුතුයි.

කෙල්ලෙක්/කොල්ලෙක් එහෙම මේ වයසට ඉන්න ඕනි නේද..?
" ඔව් නේද..? හිටියත් හොඳා නොහිටියත්..., ඒත් හොඳා..., අනේ මංදා..! "
අපි මුලින්ම බලමු අපිට මේ වයසට කෙල්ලෙක්/කොල්ලෙක් හා සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්න අවශ්‍යය වන්නට හේතුවන ශාරීරික උත්තේජනයන් මොනවාද කියලා... මූලිකව ම, තරුණයෙකු/තරුණියක යොවුන් වියට පත් උනා ම හෝමෝන ස්‍රාවය වීම [තරුණියකට නම්  ඊස්ට්‍රජන් , තරුණයෙකුට නම් ටෙස්ටෙස්ටරොන්] අන් වයසට සාපේක්ශව ඉහල අගයක් ගන්නවා. මේ අනුව සිරුරේ ඇති ස්නායු පද්ධතියේ වන උත්තේජනයන් තම සහකරුවා හෝ සහකාරිය සොයාගැනීමේ ක්‍රියාවලියේ මූලිකම අඩිතාලම සපයනවා. ශරීරයේ ක්‍රියාවලිය මෙසේ වන විට, මීට අනුබල දෙන තවත් අංශයක් තිබෙනවා. ඒ බාහිර සමාජයයි. බාහිර සමාජය තුලින්ද අපට මානසික උත්තේජනයන් ලබාදෙනවා
උදාහරණ ලෙස..,


*තම සමවයසේ යහළුවන්ට එවැන්නන් සිටීම..
*යොවුන් වයසට පත් වීමේදී එවැනි සබඳතා සඳහා සබකෝලය මුසු වූ ආසාවක් [කිතියක්] පැවතීම..
*මිතුරන් තමන් ලද අත්දැකීම් යහලු යෙහෙළියන් හා බෙදාගැනීම්..
*එමනිසා තමන් හටත් උක්ත අත්දැකීම් ලබා ගැනීමට සිත්වීම..

මේ ආදී වූ විවිධ බාහිර හේතු කාරණා තරුණ සිත ඒ පිළිබඳව ඇද බැඳ තබා ගැනීමට හේතු වෙනවා.
"සඳ එලිය මෙන් අචින්ත්‍ය වූ ආදරයක් කරන, ලබන, යොවුන් කොටස් සිටීනම් ඒ ඉතා අල්පයි." බොහෝ තරුණ කොටස් වලට "තමා අනෙකාට ආදරය කරන්නේ ඇයි?" යන ගැටලුවට උත්තර දෙන්නටවත් හැකියාවක් නැතිතරම්. මම බොහෝ මගේ මිතුරන් ගෙන් මේ ප්‍රශ්ණය ඇසුවාම ඔවුන් සතුව  මා හට දෙන්නට තරම් ඍජු සාධාරණ පිළිතුරක් තිබුනේ නැහැ.


"නමුත් මතක තබා ගන්න. මා මේ කතා කරන්නට යෙදෙන්නේ ‍යෞවනයන් ගැන පමණයි. එසේ නැතිව නිසිවයසේ දී නිසි දේ  කරගන්නට නොහැකිව කාමාපචාර වල යෙදෙන අසහන්කාරී මැදිවියැතියන් ගැන නොවෙයි."

කෙසේනමුත් තමන් හට අනාගත සහකරුවෙක් සොයාගන්න උත්සහ කරනවා නම් මගේ මතයේ හැටියට,   තමා ගත් තීරණය.., ජීවිත කාලයට ම පසුතැවිලි නොවන්නක් විය යුතුයි. තවද, සහකරු/කාරියක් තෝරා ගන්නා අවස්ථාව වනවිට තමා හැරුණුකොට තවත් ජීවිත දෙක තුනක වත් බර දැරීමට අවශ්‍ය ශක්ති වපසරිය තමා සපයා ගත තිබිය යුතුයි. ඒ ජීවිත කාලය පුරාවටම ඔහුව/ඇයව තෝරාගැනීමේ දී.., ඔහු/ඇය හා විසීමේදී.., තමා වෙතට වගකීමෙන් හැමවිටම 50%ක කොටසක් පැවරී ඇති නිසාවෙන්.

ඉන් අපට මිදෙන්න බැරිද?
පුලුවන්. නමුත් ආසියාතික සමාජය තුල තනිකඩයින්ට හිමිවන්නේ අවම ඉඩක්. තරුණ වයසේ දී ඒ ඉඩ ඉල්ලුමක් [Demand] බවට පරිවර්තනය වුවත්.., කෙමෙන් කෙමෙන් මැදිවයසට ලංවන විට සමාජය ඔහුව/ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේපය නිසා පවතින සමාජයට වෛරකිරීමට පටන් ගන්නා ඔහු/ඇය, විවිධ ක්‍රියාවල යෙදෙමින් [හොඳ/නරක] තම සිත සුවපත් කර ගැනීමට වෙහෙසෙනවා.
මේ තත්ත්වය ආසියාව තුළ මෙසේ වුවත් යුරෝපීය රටවල වෙනස් මඟක් ගන්නවා. තමා ජීවිතය තුල තනිකඩව සිටීමට හේතු වුන කරුණු කාරණා සොයා ඒවාට ප්‍රතිකාර කිරීම එහි එක අවස්ථාවක් හැටියට පෙන්වා දෙන්න පුලුවන්.

වාහනයක් මේ වයසට තියෙන්නම් ඕනි...!
මගේ සමහර යාලුවෝ මේ වනකොට තමන්ගේ පළවැනි කාර් එක ගන්න හදනවා. තව සමහරුන්ට සා/පෙළ , උ/පෙළ සමත් වූවාට පසුව කාසිකාර දෙමවුපියන් විසින් වාහන අරන් දීපුවත් තියෙනවා. මොනා උනත් තමන්ට වාහනයක් තියේනම් තරුණ වයසේ දී උත්සහා කරන්නේ එය හැඩගන්වමින් ආකර්ශණයක් එකතු කරන්නටයි. තරුණ කොටස් කොහොමත් දන්නවා වාහනය වටිනා කමින් වැඩිවෙන්න වැඩිවෙන්න ලීටරේට වැඩකරන සැතපුම් ගාන තරමට ම සමහර විට ඊටත් වඩා වැඩිපුර කෙල්ලො/කොල්ලෝ වැඩකරන වග [හිකිස්] .

නමුත් අවාසනාවකට..,
ලංකාවේ වැඩිපුර සිටින්නේ මධ්‍යම පාංතිකයන් ගේ දරුවෝ [මා ද ඇතුලුව]. සමහර ඉහල මධ්‍යම පාංතිකයනට එවැන්නක් සඳහා ප්‍රාග්ධනය විතැන් කිරීමට හැකියාව තිබුනද, බොහෝ අඩු ආදායම් ලාභී කොටස් වලට එය සිහිනයක් බවට අද පත්වෙලා. මීට ඔවුන් ලබන ආදායම් තත්ත්වය පමණක් නොව රටේ ආර්ථිකය ද බලපානවා. ඒ ඔවුනගේ ආදායම් තත්ත්වය ට රටේ ආර්ථිකය මඟින් ඍජු බලපෑමක් එල්ල කරන නිසයි. වාහනයක් ගැන හිතීමේදී දහසක් පැති ගැන සිතන්නට වෙලා. සිය පවුල, මාසික වැටුප, දෛනික වියපැහැදම්, ඉතුරුම්, නිවාස රහිත නම් ගෙවල් කුලී, නිවාස සහිත නම් නඩත්තු වියදම් මේ ආදී එකී නොකී උපයෝගිතාවයන් ගැන සලකා බලන්නට වෙනකොට තමා අත සාධාරණ මුදලක් ඉතිරි නොවන තරම්.

වාහනයක් නැතුව ඉන්න ම බැරිද...?
ඉහත ගැටලු වලට දුන්න පිළිතුර මෙයටත් දෙන්න පුලුවන්. " ඇයි බැරි.., පුලුවන්" අපි වාහනයක් ගැන සිතන විට. අපේ යටිසිත නිතරම ඉතිරි 50% ගැනත් වාහන රහිත මනෝ ලෝකය ගැන සැලකිලිමත් වෙනවා. " ඇයි.., බස්, කාර් වෑන් පාරේ තියෙන්නේ " කොමියුනිස්ට් චින්තනය සාධාරණයි.. නමුත්.., තමන්ට තමාගේම කියා යම් දෙයක් තිබෙන විට ඒ පිළිබඳව ඔහු/ ඇය තුල ඇත්තේ ඒ පිළිබඳව අධිනිශ්චයක්. "මේ මමය, මගේය යන හැඟීම " හිතට ආවිට එය අන් අයට එහි හිමිකාරත්වය ප්‍රදර්ශණය කිරීමට වික්ටෝරියානු මානසිකත්වයක් උද්ගත වෙනවා.. මෙන්න මේ සිතුවිල්ල තමා වාහනයක් පමණක් නොව ඕනෑම දෙයක් ගනීමට ඉවහල් වෙනවා. සිතුවිල්ල ඒ පිළිබඳව සිතීම, චිත්ත රූප මැවීම මේ ආදිය ඔබ පිළිපැදීම තුලින් අවසන ඔබේ හිත විසින් එම අදාල දේ ඇති තැන සොයා පියමන් කරවයි.

හැමවිටම දෙවරක් සිතා බලන්න. ජීවිතේට අවශ්‍යනම් පමණක් ලඟා කරගන්න. එසේ නැතිව හේතුරහිතව ව ජීවිතයට ආලවට්ටම් දැමීමෙන් ජීවිතය නැතිනාස්ති කර නොගන්න. මක් නිසාද යත් මේ ගෙවෙන තත්පරයත් වියපත් කරන්නේ ඔබේ වටිනා ජීවිතය නිසාවෙන්.

.::Bohemian::.

Monday, August 3, 2009

මසැස , මනැස සහ තෙවන ඇස.

විවරණය..>
                      උප්පත්තියේ සිටම පවතින්නා වූද, උඩ, යට, වම හා දකුණ යන චතුර්විද ප්‍රදේශ වලට චලනය කල හැකි භෞතික දේ පමණක් පෙනෙන අවයවය "ඇස" හෙවත් මසැස නම් වෙයි. භෞතික දේ පමණක් පෙනෙන ඉහත පැවසි මේ අවයවය තුලින් පෙනෙන දේ තුල ඇති අරුත, විදග්ධ බව, ලාභාලාභ බව ගණනය කරණු ලබන්නේ,මන තුල පවතින ඇස හෙවත් මනැස තුලිනි. මනැසින් බලාගන්නා ලද තීරණ වැරදි නිවැරදි මත සහිත කෝවක බහා ඉන් අත්වන තීරණය චෛතසික වලට දැනුම් දී ඒ අනුව සිතද, සිතට අනුව ගතද ක්‍රියාකරවන අංගය තෙවැනි ඇස හෙවත් අදිසි හස්තය ලෙස නම් කල හැකිය.
demon-eye-by-treehouse-charms
"විටෙක නිවැරදි තීරණ හා වැරදි තීරණ ගන්නා මේ අංගාත්‍රය මනුසමාජය තුල හැම කෙනෙකුටම වාගේ ඇතත් මින් බොහෝවිට ප්‍රයෝජන ගන්නේ මසැසින් පමණි."

හරි දේ වැරදි දේ...>
මූලිකවම අප පිළිගත යුතු දෙයක් තියෙනවා. ඒ නම්..,අපට හරි කියා පෙනෙන දේවල තව කෙනෙකුට වැරදි වෙන්නට පිළිවන්. බොහෝවිට මෙහි කණපිට ද විය හැකියි. යම දුටුවිට මසැස, මනැස හෝ තෙවෙනි ඇස හෝ කුමකින් දුටුවත් හරි වැරදි කියා බෙදන්නට නොහකියි.

නිදසුන අංක 01

නිදසුනක් විදියට අපි " මිනිසෙක් බල්ලෙකුට ගහනවා දැක්කා "කියා සිතමු. අනිවාර්යයෙන්ම ඒ දේ වැරදීයි කියා ඔබ සිතාවි. නමුත් ඒ බල්ලාට ගැසූ මිනිසාගෙන් ඇසුවොත් ඒ ගහන්නට හේතුව, ඔහු කීවොත් " ඒ බල්ලා මාව කන්න පැන්නා " කියා.., එවිට කාගේ තීරණයද හරි..? කවුරුවත් අත නෑ නේද..? ඒ කියන්නේ ඒ දෙන්නම හරි. අපි පවු කිව්වේ ඒ මිනිසා බල්ලාට ගහනවා ගහනවා දුටුනිසා.. ඒත් බල්ලාට මිනිසා ගසා තිබෙන්නේ ඌ මිනිසාව කන්නට පැනපු නිසායි.

මේ තත්ත්වය අප වටා ඇති අනික් දේ වලටත් අදාලයි. මේ ලෝකේ සභ්‍ය හෝ අසභ්‍ය කියා දෙයක් නෑ. වෙනස තියෙන්නේ අප ඒ දිහා බලන විදිය අනුවයි. තිත්ත උනත් මේ සත්‍යය අපි භාරගත යුතුයි..!

නිදසුන අංක 02

කාන්තාවක් පිරිමියෙකු සමඟ මෛථුනය [ ලිංගික සංසර්ගය, ලෝකාස්වාදනය] සිද්දකරමින් සිටින පිංතූරයක් අපසතුයි කියා සිතමු. එය දකින සමහර අය කියන්න පිළිවන් " චිකේ මහ වල් පිංතූරයක්.., මට නම් බලන්නවත් බෑ.., මුං මේවා කොහොම බලනවාද මංදා " කියලා.., නමුත් සමහරෙක් කිව්වොත් "ෂහ් මාර කලාත්මකයි..! හරියට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල තියෙන කජුරාහෝ දේවස්ථානයේ කැටයමක් වගේ. මේ පිංතූරේ බැලුවහාම මට වත්ස්‍යායනගේ කාමසූත්‍රය මතක් වෙනවා. "

කාගේ හිතේද වල්කම හා හැදියාව බෙදෙන්නේ..? එහෙම වෙන්නේ අපි ඒ දිහා බලන විදිය අනුවයි. බලන්නට පෙර අපේ හිත් තුල තැම්පත් වී ඇති විවිධාංගී කරණය වූ " චිත්ත කසළ ගොඩවල් " අනුවයි.

ඒනිසා පෙනෙන හැම දේම සත්‍ය නොවේ..,සත්‍ය හැමවිටම පිටතට පෙනෙන්නේද නොවේ. පෙනෙන දේ තුල නොපෙනෙන..,නොපෙනෙන දේතුල පෙනෙන., දේට වඩා යථාර්තයක් තියෙන්නට පිළිවන්. එම නිසා අන්තවාදී නොවී මධ්‍යස්ථව තීරණයකට එළඹී සිත ජය ගන්න. හදවතට නොව මොළයට තැන දෙන්න.., මක්නිසාද., ආදරය උපදින්නේ හදවතේ නොව සිත තුළයි. සිත ඇත්තේ හදවත තුළ නොව මොළය තුලයි.

ඒනිසා මසැස , මනැස සහ තෙවන ඇස හරහා මොලයෙන් වැඩක් ගමු.